brand logo

පරීක්ෂාවට තැනක් නැතිව කන්ටේනර් 800ක් වරායේ ගොඩගැසේ

24 August 2019

කොළඹ වරායට පැමිණි කුණු කන්ටේනර් ඇතුළු නියමිත කාලයේදී මුදාගෙන නොමැති කන්ටේනර් අටසියකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කිරීමට සුදුසු ස්ථානයක් නොමැතිව වරායේ ගොඩගසා ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම කන්ටේනර් පරීක්ෂාව සඳහා සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙස රේගු නිලධාරීන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාල්ස්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම කන්ටේනර් අතර වසර දෙක තුනක් තිස්සේ පරීක්ෂාවට ලක් නොවූ අත්හරින ලද කන්ටේනර් පවා තිබෙන බව රේගු නිලධාරීහු පෙන්වා දෙති. රේගුව මගින් කන්ටේනර් පරීක්ෂාවට ලක් කරන ග්‍රේ ලයින් ඔරුගොඩවත්ත, තොටළඟ අංගණ මෙන්ම ආර්.සී.ටී. අංගණ මගින් දිනකට කන්ටේනර් එක්දහස් පන්සියයක් පමණ පරීක්ෂාවට ලක්කරන බැවින් එම ආයතනවල මෙම කන්ටේනර් පරීක්ෂාව ලක්කළ හොත් දැඩි තදබදයක් ඇතිවිය හැකි බව පෙන්වාදීම නිසා මෙම කන්ටේනර් පරීක්ෂාවට ලක්කරගත නොහැකි වී ඇතැයි රේගු නිලධාරීහු පෙන්වා දෙති. රේගු පරීක්ෂාවට ලක්කළ පසු අත්අඩංගුවේ රඳවාගත යුතු කන්ටේනර් රැඳවීමට පහසුකම් නොමැති නිසා මෙම කන්ටේනර් ඔරුගොඩවත්ත හා තොටළඟදී පරීක්ෂා කිරීම වෙනුවට වෙනත් තැනක් ලබාදීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පොරොන්දු වී ඇත. රේගු ආඥාපනත අනුව වරායට පැමිණ ඇති කන්ටේනර් දින විසිඅටකට වඩා හිමිකරු නොමැතිව රඳවා ඇත්නම් එය රේගු භාරයට ගෙන පරීක්ෂාවට ලක් කිරීමට හැකිය. එහිදී මෙරටට ගෙන්වූ ආනයනකරුගෙන් නැව් සමාගම් කැඳවීමට කටයුතු කරන අතර හිමිකරු නොසිටීනම් රාජසන්තක කරනු ලබයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..