brand logo

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හා ගබඩා කළ 276කට නඩු

29 January 2019

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් නඩු පැවරීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සදහන් කරයි. උත්සව සමය නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද වැටලීම් වලදී මෙම නඩු පැවරීම් සිදු කර ඇත.මෙම වැටලීම් සදහා මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් 100 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වී ඇත. මෙහිදී ව්‍යාපරික ස්ථාන 1568 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.ඉන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට නඩු පැවරීම් සිදු කර ඇත.බොහෝ ව්‍යාපාරික ස්ථාන වල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආහාර ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින්ට අවවාද කිරීමද සිදු කර ඇත. දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පරීක්ෂා කිරීම් 53 ක් සිදු කර ඇති අතර,ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නඩු පැවරීම සිදු කර ඇත. වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 74 ක් පරීක්ෂා කර 24 දෙනෙකුට නඩු පවරා ඇත.නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ව්‍යාපරික ස්ථාන 122 ක් පරීක්ෂා කර ඇති අතර ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.මහවැව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 155 ක් පරීක්ෂා කර ඇති අතර එහිදී ව්‍යාපාරිකයින් 50 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ව්‍යාපාරික ස්ථාන 92 ක් පරීක්ෂා කර ඇති අතර, එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 23 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සිදු කර ඇත.ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 135 ක් පරීක්ෂා කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ව්‍යාපාරිකයින් 12 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.මුන්දලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 389 ක් පරීක්ෂා කර ඇති අතර ව්‍යාපාරිකයින් 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සිදු කර ඇත. කල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 137 ක් පරීක්ෂා කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ව්‍යාපාරිකයින් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සිදු කර ඇත.පුත්තලම ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථාන 59 ක් පරීක්ෂා කර නඩු පැවරීම් 33 ක් සිදු කර ඇත.ආණමඩුවේ පරීක්ෂා කිරීම් 147 ක් සිදු කර 39 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම් සිදු කර ඇත.පල්ලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 82 ක් පරීක්ෂා කර ඇති අතර ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ ව්‍යාපාරික ස්ථාන 25 ක් සිදු කර ඇති නමුත් නඩු පැවරීම් කිසිවක් සිදු කර නැත. උත්සව සමයේ පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුතු ආහාර මිළදී ගැනීම සදහා මෙවන් වැටලීම් සිදු කර ඇති බවද පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සදහන් කරයි. ජුඩ් සමන්ත
 

More News..