brand logo

පරිපූරක - අතුරු වෛද්‍යවරු අද හදිසි වැඩවර්ජනයක

30 October 2019

රජයේ රෝහල් ඇතුළුව දිවයින පුරා ක්‍රියාත්මක පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීහු අද (30 වැනිදා) හදිසි වැඩවර්ජනයක නිරත වෙති. සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණට’ ප්‍රකාශ කළේය. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩල සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ එක්ව වැඩ වර්ජනය දියත් කරයි. ඒ අනුව සියලු රෝහල්වල ඖෂධවේදීන් , වෛද්‍ය රසායනාගාර සේවා, චිකිත්සක සේවාවන්, මහජන සෞඛය පරීක්ෂක සේවාවන්, ඊසීජී සහ ඊඊජී පරීක්ෂණ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු වෘත්තීන් විස්සක සේවා අද අකර්මණ්‍ය වන බව රවී කුමුදේශ් පැවැසීය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා සමග 2015 වර්ෂයේ සිට සාකච්ඡා කර එකඟතාවය ලබා ගත් ඉල්ලීම් බොහෝමයක් ක්‍රියාත්මක කිරීම හිතා මතාම ප්‍රමාද කිරීම සහ ඉතා අසීරුවෙන් ක්‍රියාත්මක කරගත් සමහර ඉල්ලීම් පරිපාලනමය වශයෙන් ආපස්සට හැරවීමට එරෙහිව වැඩ වර්ජනය සිදුකරන බව හෙතෙම පැවැසුවේය. හෙද පරිපූරක සේවාවන්ට උපාධිධාරී වැටුප ලබා ගැනීම, ඔවුනට මාණ්ඩලික සේවා තත්ත්වය ලබාදීම, හෙද පරිපූරක සේවකයන්ට උසස්වීම් ලබාදී එම සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම සිය ඉල්ලීම් අතර ඇතැයිද ඔහු කීය. දිවයින පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. වර්ජන ක්‍රියාමාර්ග කාලය තුළ ජීවිත ආරක්ෂණ සේවා ලබාදිය හැක්කේ ස්වේච්ඡාවෙන් ඊට ඉදිරිපත් වී ඇති නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් ඇතිනොකරන්නේ නම් පමණක් බව රවී කුමුදේශ් කීය. වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සියලු මාතෘ රෝහල්, සියලු ළමා රෝහල් හා සියලු පිළිකා රොහල්වල වර්ජනය ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම සඳහන් කළේය. අජිත් අලහකෝන්
 

More News..