brand logo

පරණ කාර්' අමුතු මොඩ්ල්

14 November 2020

සුද්දා අපේ රටට වාහන රැගෙන ආවේ ඔවුන්ගේ භාවිතයට වුවත්, පසු කලෙක ඒවා මුල් කර ගනිමින් අනන්‍යතාවක් බිහිවිය. මුල් යුගයේදී මෙරට වහල් සේවකයන් ප්‍රවාහනය කිරීම පිණිස රැගෙන ආ 'ෆෝර්ඩ්' වර්ගයට අයත් ලොරි රථ පසු කලෙක ලාංකීය ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනිණ. ඒවා හැඳින්වූයේ 'කාපිරි ෆෝර්ඩ්' යනුවෙනි. කාපිරි ෆෝර්ඩ් ලොරි රථ පසු කලෙක හම්බන්තොට, තිස්සමහාරාම ආදී දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යෙදවිණ. නමුත් ඒ ලොරි රථයක ස්වරූපයෙන්ම නොව, බඳ කොටසේ කරන ලද වෙනස්කම්ද සමගිනි. එබඳු ලොරි රථ ලාංකිකයන් හැඳින්වූයේ 'පතෝල මැස්ස' යනුවෙනි. එම කාලයේ මෙරටට රථ වාහන ආනයනය කළ ප්‍රමුඛ රටවල් වූයේ එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය ආදී රටවල්ය. ෆෝර්ඩ්, වොක්ස්වැගන්, පර්ජෝ වැනි වාහන මාදිලි ඊට නිදසුන් කිහිපයකි. නමුත් එම මව් රටවල නොවූ තරමේ රසයකින් යුතුව මෙම රථවාහන වැලඳ ගැනීමට ලාංකේය ජනයා හුරු පුරුදු විය. 'ලෙඩ චවලට්', 'තල්ලු ෆෝර්ඩ්', 'කහින මොරිස්', 'මරු ඔස්ටින්' වැනි යෙදුම් ඊට දෙස් දෙයි. තමන්ට හුරු පුරුදු ගුණයක් හෝ හැඩයක් රථවාහන ඇසුරෙන් සොයා ඊට අන්වර්ත නාම යෙදීමට ලාංකිකයා තරම් සමතෙක් තවත් වේදැයි යන්න සැක සහිතය. 'ඉබ්බා කාර්', 'වැට බෆර්', 'කනේ මයිල්', 'අත සිග්නල්', 'වඳුරු මූණ', 'හිල්මන් කුරුම්බැට්ටිය', 'මයිනර් බස්සා', 'දඬු ෆෝර්ඩ්', 'කේම්බ්‍රිජ් තටු මොඩ්ල්', 'මඩකලපු ඔක්ස්ෆර්ඩ්', 'කිචි කිචි ඩෙලිකා', 'ඇම්බියුලන්ස් මොඩ්ල්', රූපවාහිනී මොඩ්ල්' ආදී ලෙස රථවාහන මූලික කරගනිමින් විවිධ නාම නිර්මාණය වීමෙන් ඒ වග තහවුරු වේ. එදා ලාංකේය ජනයාගේ රසඥතාව මේ ඔස්සේ පිළිබිඹු විය. මෙරට තුළ දැනට ඉතිරිව ඇති ඉපැරණි වාහන වැදගත් වන්නේ ඒ ඔස්සේ ගොඩ නැගෙන රසඥතාව පමණක් නිසාම නොවේ. ඒවායෙහි තාක්ෂණයද මෙහිලා වඩා වැදගත්ය. ඇතැම් විට නූතනයේ භාවිත වන තාක්ෂණික ක්‍රමෝපායන් අභිභවා ගිය තාක්ෂණික ක්‍රමවේද, මෙවන් රථවාහන ඇසුරින් හඳුනා ගත හැකිය. එබඳු තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව හැදෑරීමට ශේෂව ඇති එකම ඉගෙනුම් මෙවලම් වන්නේ මෙසේ ඉතිරිව ඇති ඉපැරණි රථවාහනයි. සරල උදාහරණයක් පිළිබඳව සලකා බැලුවහොත් 'වායු සිසිලන පද්ධතියක්’ (water cool system) සහිත මෝටර් රථයක් පිළිබඳ හැදෑරීම උදෙසා වොක්ස්වැගන් කාණ්ඩයේ බීට්ල්, කාර්මන්ගිහා සහ වේරියන්ට් යන මෝටර් රථ මාදිලි දැක්විය හැකිය. එමෙන්ම ස්වයං ගියර පද්ධති (auto gear system ) පිළිබඳව නූතනයේ වැඩි වශයෙන් සාකච්ඡා වුවද එකල තිබුණු ලේලන්ඩ් PD 2 මොඩලය තට්ටු දෙකේ බස් රථවල මෙකී තාක්ෂණය තිබුණි. තාක්ෂණවේදය මෙරට පාසල් විෂය ධාරාවකි. එම විෂය ධාරාව හැදෑරීම සඳහා මහින්ද්‍යෝදය තාක්ෂණික විද්‍යාගාර වැනි පහසුකම්ද ඇතැම් පාසල්වලට ලබාදී තිබේ. එවන් පහසුකම් යටතේ මෙබඳු රථවාහනවල තාක්ෂණික භාවිතයන් පිළිබඳව හැදෑරිය හැකිය. එමෙන්ම ජර්මන් තාක්ෂණ ආයතනය, කාර්මික විද්‍යාල වැනි ව්‍යුහයන් දැයේ දූ දරුවන්ගේ තාක්ෂණික ඥානය වර්ධනය කිරීම පිණිස වර්තමානයේ පවා සිය දායකත්වය සපයයි. මේ සියලු තාක්ෂණික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම දූ දරුවන්ගේ තාක්ෂණික ඥානය ගුණාත්මකව වර්ධනය කිරීම පිණිස මෙම ඉපැරණි වාහන ප්‍රායෝගිකව යොදාගත හැකිය. පැරණි රථවාහන සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. මේවා පැත්තකට කර තැබීම තවදුරටත් සුදුසු නොවන්නේ ඒ ඔස්සේ ගොඩ නැගෙන රැකී රක්ෂා ප්‍රමාණයද සැලකිය යුතු අගයක පවතින බැවිනි. කාර්මිකයන්, පින්තාරුකරුවන්, ටින්කර්වරුන්, පට්ටල්කරුවන්, අමතර කොටස් විකුණන්නන් ආදී වශයෙනි. විශේෂයෙන් ඉපැරණි වාහන පිළිසකර කිරීමේදී නූතන වාහනවල කොටස් මෙන් ගලවා ඉවත් කොට ඒ වෙනුවට නව කොටසක් මිලදී ගෙන සවි කිරීම අනුදත් ක්‍රමවේදය නොවේ. ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් කිහිපදෙනෙකුගේ සහය ලබාගත යුතුය. ඒ ඔස්සේ මෙම ක්ෂේත්‍රය තුළින් රැකියා අවස්ථා ගොඩ නැගෙන වග නොකිව මනාය. පැරණි රථවාහන සඳහා අවැසි අමතර කොටස් යම් තරමකට හෝ මෙරට තුළ නිපදවිය හැකිනම් එය මෙරට මුදල් විදේශයන්ට ගලා යාම අවම කිරීමට හේතුවකි. තවද ඉපැරණි රථ පහසුවෙන් ධාවනයට එක් කිරීමටද ඉන් අනුබලයක් සපයනු ඇත. තවද එබඳු අමතර කොටස් නිපදවීමට අවැසි තාක්ෂණික දැනුමැති පිරිස් මෙරට තුළ සිටිති. අවැසි වන්නේ ඔවුන් නිසි නියාමනයකින් යුතුව හැසිරවීමත් ඔවුන්ට මග පෙන්වීමත්ය. මෙබඳු සාධනීය පියවරයන්ට ගියහොත් කෞතුකමය අගයකින් යුතු වාහන සඳහා ලෝකයේ පවතින ඉහළ ඉල්ලුම හමුවේ මෙරට තුළ නිපදවන ලද ඉපැරණි වාහන කොටස් අපනයනය කිරීමේ ඉඩ හසරද මගහැරී නොයනු ඇත. මෙරටට විදේශ විනිමය උපයා ගත හැකි ප්‍රධානතම මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දිය හැකිය. එදා මෙදා තුර පැවති සෑම ආණ්ඩුවක්ම සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා විවිධ පිඹුරු පත් සැකසූහ. වර්තමානයේහි පවා මෙහි වෙනසක් දක්නට නොලැබෙයි. එවැනි සැලසුමක් හමුවේ මෙරට තුළ වන ඉපැරණි රථවාහන මගින් ඊට ලද හැකි ආලෝකය අපමණය. මනා ක්‍රියාකාරිත්වයෙන් යුතු ඉපැරණි වාහන සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් හඳුන්වා දිය හැකිය. වර්තමානයේදී පෞද්ගලික අංශයේ මැදිහත් වීම මත සුළු වශයෙන් මෙය ක්‍රියාවට නැංවුණද සංචාරක ව්‍යාපාරය හා බැඳි රාජ‍්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්ට ඒ සඳහා මැදිහත් වීමක් සිදු කළ හැකිය. තම මව් රටේ හෝ දක්නට නොලැබෙන එහි නිපැයූ රථයක නැගී යම් දුරක් සංචාරය කිරීමට විදෙස් සංචාරකයන් අකමැති නොවනු ඇත. හික්කඩුව, උණවටුන සහ ගාලු කොටුව ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මේ සඳහා ප්‍රවේශයක් ලබාගැනීම වැදගත්ය. තවද මංගල උත්සව සඳහා ඉපැරණි මෝටර් රථ යොදා ගැනීම දැනටද සිදුවේ. එය ව්‍යාපාරමය හා ආදායම් ලැබිය හැකි ක්‍රමවේදයක් ලෙස සකසා ගැනීමට හැකිය. මෙරට පැරණි රථවාහන සුරැකීමට නම් ඒ සඳහා ගත යුතු පියවර බෝහෝය. එදා මෙරට භාවිත වූ ඇතැම් රථවාහනවල නිදර්ශකයක් හෝ අද දක්නට නොවීම අභාග්‍යයකි. නිදසුනක් ලෙස අතීතයේ මෙරට ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ 'ට්‍රොලි බස්' දැක්විය හැකිය. එමෙන්ම මෙරට ශේෂව ඇති ඇතැම් ඉපැරණි රථවාහනවල තාක්ෂණික ක්‍රමෝපායන් විස්මය දනවන සුලුය. නිදසුනක් ලෙස යුද කටයුතු සඳහා භාවිත වූ "ලේලන්ඩ් මැටඩෝර්" ලෙස හඳුන්වන ආපදා රථ දැක්විය හැකිය. ඒවායෙහි තාක්ෂණික ක්‍රමවේද, නිෂ්පාදනය සඳහා යොදා ගත් ලෝහ විශේෂ සහ ඒවා යොදා ගැනීමට හේතු වූ කාරණා පිළිබඳව අවම වශයෙන් හෝ හැදෑරීමට මෙබඳු රථ සංරක්ෂණය කළ යුතුය. ඒ සඳහා 'ජාතික ප්‍රවාහන කෞතුකාගාරයක්' ස්ථාපිත කළ හැකිය. එවිට ඊට අවැසි කෞතුකමය වටිනාකම් ඇති රථවාහන මෙරටින්ම සොයා ගැනීම අපහසු නොවේ. එවන් ක්‍රමවේදයක් යටතේ මෙකී රථ සංරක්ෂණය කළහොත් එය රථවාහන තාක්ෂණය පිළිබඳව හදාරණ අයකුට වැදගත් වනු ඇත. අද වනවිට මෝටර් රථය හුදු රථයක්ම නොවේ. සමාජ තත්ත්වය මැන බලන මෙවලමකි. එවන් සන්ධර්භයක් තුළ මෙරට ඉපැරණි මෝටර් රථ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ජනයා උනන්දු කළ හැකිය. ඒ ඔස්සේ රථවාහන ආනයනය පිණිස විදේශයට ගලා යන මුදල් මෙරට තුළ ඉතිරි කර ගත හැකිය. මෙහිදී අමතර කොටස් ලබා ගැනීමට ඇති අපහසුව, ඒවා මනාව සැකසිය හැකි පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ආදී කරුණු මුල් කොට ගනිමින් මෙරට ඉපැරණි වාහන සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ උදාසීන හැඟීමකි. නමුත් මෙම වාහන සකසා යළි මංමාවත් වෙත මුදා හැරිය හැකි නම් ඒ ඔස්සේ සාමාන්‍ය ජනයාගේ වාහන සිහිනය යම් තරමකට හෝ සැබෑ කර ගත හැකිය. එමෙන්ම ඔවුනට ආරක්ෂිතව ගමනක් බිමනක් යාමේ අවස්ථාව හිමි වේ. 'වොක්ස්වැගන්, මයිනර්, පියට්' වැනි මාර්ගයේ අඩු ඉඩක ධාවනය කළ හැකි නඩත්තුව පහසු මෝටර් රථ මාදිලි වෙත මේ කටයුත්තේදී ප්‍රමුඛත්වය හිමි විය යුතුය. එමෙන්ම එය මැදි ආදායම් සහිත පවුල් ඒකකයකට දරා ගත හැකි නඩත්තු පිරිවැයක්ද වනු ඇත. මෙලෙස ඉපැරණි රථ වාහන මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට සිය දායකත්වය සපයන්නේ නම් එමගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔස්සේ රජයට සැලකිය යුතු ආදායමක් ලැබීමේ ඉඩ හසර හිමිවේ. කෙසේ නමුත් මෙහිදී යම් සහනදායී වැඩපිළිවෙළක අවශ්‍යතාවද පැන නගී. නිදසුනක් ලෙස වසර විස්සකින් පමණ ධාවනය නොවූ හෝ ආදායම් බලපත්‍රය ලබා නොගෙන ඇති වාහනයක් යළි අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමේදී එය ධාවනය නොවූ වසර විස්සටම දඩ මුදල් ගෙවීමට සිදුවීම ප්‍රායෝගික නැත. එමෙන්ම ඒ ඔස්සේ සිදු වන්නේ පැරණි වාහනයක් යළි සකසා භාවිත කිරීමට සාමාන්‍ය ජනයා තුළ වන උනන්දුව හීනවීමයි. කෞතුකමය අගයකින් යුතු වාහන රැක ගැනීම පිණිස වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම කැපී පෙනෙන්නකි. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුල් වීම වඩා ප්‍රායෝගිකය. මෙවන් වැඩසටහනක් සැකසීමේදී හා එය ක්‍රියාවට නැගීමේදී වඩා පුළුල් ප්‍රවේශයකින් යුතුව එය ආරම්භ කළ යුතුය. ඊට යම් යම් උපායමාර්ගික ප්‍රවේශයන් සහ අවශ්‍යතාවය අනුව යළි යළිත් සකසා ගත හැකි වැඩසටහන් ව්‍යුහයක් සකසා ගැනීම ප්‍රායෝගිකය. එවන් ක්‍රමවේදයක් සැකසුවහොත් රථවාහන ක්ෂේත්‍රය හා බැඳි ජාවාරම්කරුවන්ගේ 'කළු සල්ලි' වලට වැට බැඳීමටත්, මෙරට ඇති වටිනා ඉපැරණි රථවාහන සුරක්ෂිත කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
 

More News..