brand logo

පයින් යනවාද? නැත්නම් අදුරේ ඉන්නවාද?

17 January 2022

බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇගවීමක් විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නොදෙන බවයි බලශක්තිය අමාත්‍යවරයා පවසන්නේ. ඉන්ධන නො මැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ අතර, ඒවා යථා තත්ත්යට පත්කර ගැනීමට ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකක දී ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මෙලෙස විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව කලින් දැනුවත් කළ යුතු බවයි. ඩොලර් ලබාදුන් පසුවද ඉන්ධන ආනයනය සඳහා සතියක පමණ කාලයක් ගතවන බව ඊට හේතුව ලෙස මාත්‍යවරයා පවසා සිටියා. විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතු ව නො මැති බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. යම් හෙයකින් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් ඉදිරි සතියකින් පමණ මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කිරීමට ඉන්ධන තොග නැති ව යන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. ඒ අනුව දැනට ඉතිරි ව ඇත්තේ, පැහැදිලි විකල්ප දෙකක් පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එක්කෝ විදුලිය නිෂ්පාදනය කර ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ නැතිනම් පැය කිහිපයක් අඳුරේ සිට නිසි කළමනාකරණයකින් යුතුව එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම බවයි. කෙසේ වෙතත් දිනකට පැය දෙක තුනක් විදුලිය කපා හැර මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුව ද ‍රථ වාහන අවශ්‍යතා සඳහා එවැනි විකල්ප වැඩපිලිවෙළක් කරා යොමු වීමේ හැකියාවක් නො මැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. මේ වන විට විදුලිබල මණ්ඩලයට වරින් වර ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 920ක මුදලක් බලශක්තිය අමාත්‍යාංශයට ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද රුපියල් කෝටි 650ක ඉන්ධන බලශක්ති අමාත්‍යංශයෙන් ණයට ලබාගෙන ඇති බවයි ඔහු පවසන්නේ. එබැවින් අදාළ ආයතන දෙකට ම ඉන්ධන අවශ්‍ය නම් කඩිනමින් ඩොලර් ලබාදීමට කටයුතු කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ, දැනට පවතින තත්ත්වය අනුව ඛණිජ තෙල් ආනයනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සකසා ගත නො හැකි වුව හොත් ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට මෙන්ම මෙරට දෛනික ප්‍රවාහනයට ද බරපතළ ගැටලු සහගත තත්ත්වයක් ඇති කරනු ඇති බවට යි. බොහෝ විට පෙබරවාරි මස මුල සිට පැය හතරක පමණ කාලයක විදුලිය කප්පාදුවක් සිදු විය හැකි බවටත් ඔහු අනතුරු අඟවනවා.
 

More News..