brand logo

පබෝධාගේ අඩුව පුරවන්න පැමිණි පෝෂිණී

28 July 2021

සකුගේ කතාව ටෙලි නාට්‍යයේ වාසනාගේ චරිතය අතිශය ආදරයට පාත්‍ර වූ චරිතයක්. මේ වෙද්දි සකූගේ කතාව ටෙලි නාට්‍යයේ දෙවෙනි කොටසත් ඇවිත්. පෙර තිබූ චරිතත් එසේම තියෙනවා. නමුත් වාසනාගෙ චරිතය වෙනුවෙන් පබෝධා සංදීපනී වෙනුවට අලුත් මුහුණක් එකතු වුණා. ඇය පෝෂිණී දිසානායක. අද අප කතාබහ කරන්නේ වර්තමානයේ සකූගේ කතාවේ වාසනාගේ චරිතයට පණ පොවන පෝෂිණී දිසානායක සමගයි.

පෝෂිණී මේ ඔබේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමද?

නැහැ, මම මීට ඉස්සර ටෙලි නාට්‍ය කිහිපයක චරිත රඟපාලා තියෙනවා. ඒත් සකූගේ කතාවේ වාසනාගෙ චරිතය තමයි මට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබුණ පළමු අවස්ථාව.

පෙර රසිකයන් අතර තිබූ වාසනාගේ චරිතය කරත්දි ඔබට මුහුණ දෙන්න සිදුවුණ සිදුවීම් මොනවාද?

පබෝධා සංදීපනි කියන්නේ ප්‍රවීණ නිළියක්නේ. ඇය කරපු චරිතයක් මම කරනවා කියන්නෙ නවකයෙක් විදිහට මට විශාල අභියෝගයක්. අනිත් කාරණය මේක අලුත්ම නිර්මාණයක අලුත්ම චරිතයක් නෙවෙයිනේ. පෙර රසිකයන් රස විඳපු නිර්මාණයක් නිසා ඒ අයගේ රසයට වෙනසක් නොවෙන විදිහට මට චරිතය කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂතුමාත් මට චරිතය නිවැරදිව හැඩ ගස්වා ගන්න ලොකු සහායක් දුන්නා.

විශේෂයෙන්ම පෝෂිණීට පබෝධාගේ බාහිර පෙනුම ගන්න මොනවද කළේ...

මම පබෝධා අක්ක වගේ නෙවෙයි. ඒත් මම ඒ විදිහට හැඩගැහුණා. උපතින්ම මට තිබුණෙ රැළි කෙස්කළඹක්. හැබැයි මම ඒ කොණ්ඩෙට කැමැති නැති නිසා කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා හිටියේ. වාසනාගෙ චරිතය ලැබුණට පස්සෙ පබෝධා අක්කගෙ කොණ්ඩය ක්‍රේල් නිසා ආයෙත් මම කොණ්ඩෙ ක්‍රේල් කළා.

පෝෂිණීට වාසනා නිසා දැන් හොඳ ප්‍රතිචාර තියෙනවද...

මේ දවස්වල මම වැඩියෙන් පාරෙ යන්නෙ නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ වැඩියෙන් පාරෙ එහේ මෙහේ ඇවිදින්න එපා කියලා. කොරෝනා බෝවුණොත් මුළු සෙට් එකටම බෝවෙනවනේ. ඒත් ගෙදරට කෝල්ස් එනවා ගොඩක් අය හොඳයි කියනවා. දැන් දැන් යූටියුබ් එකෙනුත් ප්‍රතිචාර දකින්න ලැබෙනවා. මුලින්ම නම් ටිකක් රසිකයන් මාව පෙර පබෝධා අක්ක එක්ක සසඳන ගතියක් තිබ්බා. දැන් ටිකක් ඒ තත්ත්වය අඩුවෙලා. මට කැමැති පිරිසක් ඉන්නවා කියලා දැනෙනවා.

පෝෂිණීට රඟපාන්න එන්න හිතක් ඇතිවෙන්නේ කොයි කාලෙද?

අපේ අම්මා හරි ආසයි මේ ක්ෂේත්‍රයට. අම්මා පොඩි කාලේ දරුවනේ චිත්‍රපටයේ නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට මාව එක්ක ගිහින් ඒකෙන් තේරිලා දරුවන් චිත්‍රපටයෙ ළමා නිළියක් විදිහටයි ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට අවුරුදු 13 ක් විතර ඇති. ඊට පස්සෙ වීරෝ නීරෝ කියලා චිත්‍රපටයක රඟපෑවා.

පෝෂිණීගෙ ඉදිරි බලාපොරොත්තු...

චරිතාංග නිළියක් විදිහට හොඳ චරිත කරන්න ආසයි. ඒත් ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු නැහැ. වාසනාගෙ චරිතය වගේ ගැමි චරිත හා මට ගැළපෙන චරිත රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. වෙන රුකියාවක් කරන්න කැමැත්තක් නැහැ. හැබැයි මම ආසයි විදේශ රටකට යන්න.

රංගන ක්ෂෙත්‍රයේ අලුත් ගැහැනු ළමයෙක්ට බලපෑම්වලින් මගහැරිලා ඉදිරියට එන්න පහසු නැහැ කියන කාරණය ඔබටත් බලපෑවද ...

මට එහෙම බලපෑම් ඇතිවෙලා නැහැ. වාසනාවකට හොඳ අධ්‍යක්ෂවරු තමයි මට හම්බ වුණේ. ඒ වගේම බුද්ධදාස විතානච්චි සර්, ප්‍රසන්නජිත් සර්, කීර්ති රත්නායක සර්, ජයලත් මනෝරත්න සර්, මීනා කුමාරි අක්කා වගේ අය එක්ක රඟපාන්න ලැබිලා තියෙනවා. ඒ අයගෙන් ගොඩක් ගුරුහරුකම් ලැබෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ බලන්න කියලා උපදෙස් ලැබෙනවා. කැපිලි කෙටිලි, කටකතා බලපෑම් මට නම් අත්විඳින්න වෙලා නැහැ.

පෝෂිණී පූර්වාදර්ශ කරගත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවද?

ලංකාවෙන් නම් මම මාලනී ෆොන්සේකා මහත්මියටයි, චාන්දනී සෙනෙවිරත්න මහත්මියටයි කැමැතියි. ඉන්දියාවෙන් ධනුෂ්ට ආසයි. දෙමළ, මලයාලම් චිත්‍රපට බලන්න තමයි ගොඩක් ආස. මම නිතරම චිත්‍රපට බලනවා.

පෝෂිණීගේ පුද්ගලික තොරතුරු මොනවද?

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ රද්දොළුගම ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලෙන්. උසස් පෙළ සඳහා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ඇතුළත් වුණා. මම පදිංචි වෙලා ඉන්නේ ජාඇල, ඒකල. අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මායි, අක්කයි ඉන්නෙ. අක්කා විවාහ වෙලා. තාත්තා පුද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. අම්මා ගෘහණියක්.

විවාහය සහ ආදරය ගැනත් කතා කරමුද?

තවම විවාහ වීමේ අදහසක් නැහැ. මට තවම අවුරුදු 23යි. මම මේ ක්ෂේත්‍රයටත් ආවා විතරයිනේ. මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වුණොත් හොඳයි. හැබැයි මම හිතාගෙන ඉන්නේ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරලා පසුව මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලාම විවාහ වෙන්නයි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..