brand logo

පන්තියක සිසුන් 40ට එරෙහිව ගුරු සංගමය අධිකරණයට

13 January 2020

පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (12 වැනිදා) පැවසීය. වසර පහක් ඇතුළත පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට නියෝග කළේ ශ්‍රේෂ්ඨාධිකරණය බවත් 2011 වසරේ දුන් එම නියෝගයට අනුව මෙම වසරේ පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් බවත් කී හෙතෙම 2021 වසරේ දී පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව අනිවාර්යයෙන් ම 35 විය යුතු බවත් සඳහන් කළේය. එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තිබිය දී එම තීන්දුව වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැති බව ස්ටාලින් කියයි. පාසල් වැසී යාම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම වැදගත් තීන්දුව ආණ්ඩුව වෙනස් කිරිමට උත්සාහ කරන්නේ අන් කිසිවක් නිසා නොව තමන්ගේ හිතවතුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා ගැනීමට බව ස්ටාලින් පෙන්වා දෙයි. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම වැඩි කිරීමෙන් සිදුවන්නේ අවට පාසල් වැසී යාම බවත් එම තත්ත්වය යළි අති කිරීම අපරාධයක් බවත් ඔහු කියා සිටියි. මෙම වසරේ පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉකුත් සතියේ ය. නිලන්ත මදුරාවල
 

More News..