brand logo

පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නවත්වන්න

16 September 2020

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ. ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. එමෙන්ම මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද තීරණය කෙරිණ. ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බව එහිදී අවධාරණය කෙරිණි. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. මේ අතර ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ. රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන අතර, සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය.
 

More News..