brand logo

පණ පිටින් එංගලන්තයට ගිහින් පෙට්ටියෙන් දඹානට ආ ආදි වාසියෝ

01 December 2019

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ ඉකුත් 27දා එරට විද්වතුන් පිරිසක් ඇමතුවේය. ‘‘මේ ඇත්තන්ගෙ පරම්පරා පොජ්ජෙ ඉඳ තිබාපු මේ කාල මැච්චට කෝන පොජ්ජ දෙසිය පනහකටම, තුන්සීයමකට ඉච්චරින් ජීවත් පොජ්ජ මන්දො කරපු මිනිග්ගජ්ජු හතමකගෙ. ඉච්ගෙජ්ජවල් හතමකුත්, සම්පූර්ණ තැනේ මිනිග්ගජ්ජු දෙකමකගෙ ඇටසැකිලි පොජ්ජ දෙකමකුත් එඩිම්බරෝ කෞතුකාගාර රුකුල් පොජ්ජෙන් ඇන්න මංගැච්චුවා. ඒ තැනට වැඩ පොජ්ජ මන්ද කොරාපු ඔෂාන් වෙදගේ හූරටත්, පැට්‍රික් රොබට් හූරටත්, උදව් කරපු හැම එකෙමෙකුටමත් මේ ඇත්තො කළුබණ්ඩාර දෙයියලැත්තන්ගෙ පිහිට පොජ්ජ මන්දො කරනවා.’’ ‘‘අපේ ආදිවාසී පරම්පරාවේ සිටි අදින් වසර 250කට 300කට ඉස්සරින් ජීවත් වුණ මිනිසුන්ගේ හිස් කබල් හතකුත් (7) සම්පූර්ණ මිනිසුන් දෙදෙනකුගේ අස්ථිත් එඩිම්බරෝ කෞතුකාගාරයෙන් මට ලබා දුන්නා. ඒවා ලබා ගැනීමට කටයුතු සලසා දුන්නු කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහත්මයාටත්, මහාචාර්ය පැට්‍රික් රොබට් මහත්මා ඇතුළු සෑම දෙනාටම මගේ පරපුරේ කළුබණ්ඩාර දෙයියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා.’’ ආදිවාසී නායක මේ ස්තුතිය කළේ සුද්දා ලංකාව කරපු කාලයේ රැගෙන ගිය සිය මුතුන් මිත්තන්ගේ ඇටසැකිලි වගයක් ඔහුට යළි භාරදීම නිමිත්තෙනි. එකල සුද්දන් ලංකාවෙන් රැගෙන ගිය ජීවතුන් අතර සිටින ආදිවාසීන් පිරිසකි. විවිධ පර් යේෂණ සඳහා මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය මේ ආදිවාසීන් යළි ලංකාවට නැව් නැංගේ නැත. එරට ජීවත් වූ ආදිවාසීන් මියගියේද මහා බ්‍රිතාන්‍යයේය. එසේ මිය ගිය පසු ලාංකිකයන්ගේ මළ සිරුරු මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පොළොවට පස් වන්නට ඉඩ තැබුවේ නැත. පර් යේෂණ අවශ්‍යතා සඳහා වෙන් වෙන් වශයෙන් එම මානව අවශේෂ සුරක්ෂිතව සංරක්ෂණය කර කෞතුකාගාරවල තබා ඇත. මානව පරිනාමය පිළිබඳව පර් යේෂණයක් සඳහා එංගලන්තයේ සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මෙම තොරතුර කන වැකුණේය. එම සුවිශේෂී අවස්ථාවට මග පෑදුණේද කාලයක් තිස්සේ මානව පරිනාමය පිළිබඳව විවිධ පර් යේෂණයන්ගේ යෙදෙන ඔහු තම පර් යේෂණයන් සඳහා සිය රටින් රැගෙන ගිය ආදිවාසීන්ගේ ඇටසැකිලි යොදාගැනීම නිසාය. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ එම පර් යේෂණය කෙරී තිබේ. එම පර් යේෂණයේදී මග පෙන්වන්නෙක් ලෙස එඩම්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය පැට්‍රික් රොබට් එක් වූවේය. පැට්‍රික් ජර්මනියේ උපන් අයෙකි. ඔහුගේ පියාද එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔෂාන් වෙදගේ කාලයක් තිස්සේ මානව පරිණාමය පිළිබඳ තොරතුරු සොයා යමින් සිටින පුරාවිද්‍යාඥයෙකි. පාහියන්ගල, කිතුල්ගල ලෙන් ආශ්‍රිතවද බූන්දල මානව ජනාවාස පිළිබඳ කළ පර් යේෂණයන් වලින් ඔහු මානව පරිනාමය පිළිබඳ නව තොරතුරු රැසක් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට දායාද කළේය. ඔහු මෙසේ සොයන්නේ අප්‍රිකාවෙන් නික්මුණු මානවයා එයින් නික්ම නතර වූයේ කොහිද යන්න නිවැරදිව සොයා ගැනීමයි. දැනට මෙරට සිටින ආදිවාසී ජනයා පැමිණියේ කොහි සිටද යන්න සොයා යෑම ඔහුගේ අරමුණයි. මෙම ගමන අතරතුර ඔවුන්ගේ පර් යේෂණයට ලක්වූයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තිබෙන ශ්‍රී ලාංකික ආදිවාසී මානව අවශේෂ සහ අස්ථි පිළිබඳවයි. එම පර් යේෂණය කිරීම හිතුමතේ කළ නොහැකිය. එම මානව අවශේෂ හිමි මානවයින්ගේ වත්මන් නායකයා ඒ සඳහා අවසර තිබිය යුතු බව කෞතුකාගාරයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව අප රටේ ආදිවාසී නායක වන්නිලැත්තන්ගේ කැමැත්ත ගැනීම අනිවාර්ය විය. ඒ සඳහා දඹානට පැමිණි ඔෂාන් වෙදගේ හා පැට්‍රික් රොබට් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත. ඒ පිළිබඳව පැහැදිලි කළ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මෙසේ කීවේය. ‘‘මේ වැඩේට ආදිවාසී නායක අවසර දුන්නේ එක පොරොන්දුවක් මතයි. ඒ පර් යේෂණය අවසන් වුණාම එම මානව අස්ථි සහ හිස් කබල් ලංකාවට ගේන්න ඕනේ කියලා. මම ටිකක් තිගැස්සුණා. මොකද ඒවා එංගලන්ත රජය සතුව තියෙන්නේ. පර් යේෂණයට අවසර දුන්නට අපට ආපසු ලංකාවට ගෙන එන්න දෙයිද කියන ගැටලුව තිබුණා. නමුත් මම පොරොන්දු වුණා උත්සාහ කරන්නම් කියලා. ඒ පොරොන්දුව පිට 2017 අපි අවසරය අරන් ගියේ. අපි ලිපියක් හදලා ඉල්ලීම් කළා. ඒ අතරතුරේ රටවල් දෙක අතරෙ ලිපි රාශියක් හුවමාරු වුණා. අවසානෙ නායකතුමාගෙ ඉල්ලීම ඉෂ්ටකරන්න හැකිවුණා.’’ ඔහු කීවේය. උත්සවාකාරයෙන් එම පුරාවස්තු වන්නියලැත්තන්ට භාරදෙන අවස්ථාවට ලෝකයේ බොහෝ රටවල්වලින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආවරණය සඳහා මාධ්‍යවේදීහු රැසක් සහභාගි වී සිටියහ. බීබීසී පුවත් සේවය විසින් එම පුවත ප්‍රථමයෙන් ලොවට හෙළි කරන ලදී. මෙසේ ලැබුණු හිස්කබල් හා ඇටසැකිලිවල හිමිකරුවන් ලංකාවෙන් මහා බ්‍රිතාන්‍යය බලා රැගෙන ගොස් ඇත්තේ මීට වසර 250ක් 300කට පෙර බව පැවසේ. සුදු ජාතිකයන් මේ රට පාලනය කරන කාලේ විවිධ ලෙඩ රෝග තිබුණු අයත් වෙනත් විශේෂතා දැක්වූ අයත් එංගලන්තයට රැගෙන ගොස් තිබේ. ඒ කාලෙ මේ රටත් නීතියත් ඔවුන්ගේය. විවිධ රෝගවලින් මැරුණ අයගේ සිරුරුත් එකල එංගලන්තයට රැගෙන ගොස් තිබේ. ලංකාවේ පමණක් නොව හිරු නොබසින අධිරාජ්‍යයට අයත් රටවල් රැසක පදිංචිකරුවන් පර් යේෂණ සඳහා එංගලන්තයට රැගෙන ගොස් තිබේ. ඔවුන්ගේ හිස් කබල් 14000ක් එහි තිබේ. හිස් කබල් පමණක් නොව දුන්න, ඊතලය, කෙටේරිය, පොරව, ලබුකැටය වැනි ආදිවාසීන් පරිහරණය කරන භාණ්ඩ 1200 පමණ එම කෞතුකාගාරයේ තිබේ. එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ටොම්, වන්නියලැත්තන්ට පවසා ඇත්තේ පසු කලකදී ඒවා ලංකාවට බාරදිය හැකි බවය. ‘‘ඔවුන්ගේ වැඩ ක්‍රමානුකූලයි. අපේ රටෙන් අරන් ගිය හැම දෙයක්ම නිවැරදිව සටහන් කරලා ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න හැකි වෙන්න තියලා තිබුණා. සෑම දෙයක්ම නීත්‍යානුකූලව ලිඛිතවම තිබුණා. ඉතාමත් සුරක්ෂිතව ගෞරවාන්විතව ප්‍රදර්ශනයටත් තියලා තිබුණා’’. ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසති. ආදිවාසී නායකයාට මෙම භාණ්ඩ භාර දුන් මොහොතේ එඩිම්බරෝ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ටොන් පවසා ඇත්තේ මෙසේය. ‘‘නායකතුමා ඔබලාගේ රටේ මළගිය ඥාතීන් වසරක් වසරක් පාසා පුද පූජා ලබනවා. වසර 300ක් පමණ මෙම හත් දෙනා මෙහි තනි වෙලා කිසිම පුද පූජාවක් නැතිව හිටියා. ඒ ගැන අපි කනගාටු වෙනවා. අදින් පසු මේ අය තනි වෙන්නෙ නැහැ ඔබලා අතරෙ තියාගෙන පුද පූජා පවත්වන්න’’ යනුවෙනි. ඉතාමත් සුරක්ෂිතව සුවිශේෂී ලෙස ආවරණය කරන ලද පෙට්ටිවල බහා මෙරටට ගෙන එන ලද ආදිවාසී මානව හිස් කබල් හත සහ සම්පූර්ණ ඇටසැකිලි දෙක දැනට ඒ ආකාරයෙන්ම දඹාන ජන උරුම කේන්ද්‍රයේ තැන්පත් කර තිබේ. එය මෙරට දේශගුණයට ටිකෙන් ටික හුරු කරවීම කළ යුතු බවට උපදෙස් ලැබී ඇත. එම පුරාවස්තු තැන්පත් කිරීමට සීතකාමර ඉදි කළ යුතුය. වීදුරු අල්මාරිවල බහා ප්‍රදර්ශනයේ තැබිය යුතුය. නැවත එළියට ගැනීම ඇල්ලීම නොකළ යුතුය. මේ නිසා ආදිවාසී නායකයා කියන්නේ එඩින්බරෝ විශ්වවිද්‍යාලය වසර 250ක් 300ක් තම නෑයන්ගේ සිරුරු කොටස් පරිස්සමින් තබා ගත්තේ තම පරපුරටත් තව වසර දෙතුන් සියයක්වත් ​මේ වටිනා වස්තුව ආරක්ෂා කර ගත යුතු බවය. ඒත් මට බයයි එහෙම කර ගන්න බැරි වෙයි කියලා. ඒකට මීට වඩා දඹාන ජන උරුම කේන්ද්‍රයේ පහසුකම් වැඩි කළ යුතු බව ඔහු කියන්නේය. කමලා අතරගල්ල
 

More News..