brand logo

පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් උත්තර 5 වැනිදා

28 January 2020

පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අසන සෘජු ප්‍රශ්නවලට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිළිතුරු ලබාදීම පෙබරවාරි 05 වැනිදා සිට ආරම්භ කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු සපයන පළමු අවස්ථාව මෙය වේ. ඒ සඳහා එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර තිබේ. මේ අනූව පාර්ලිමේන්තු සතියේ එක් දිනයක පැය භාගයක් අගමැතිවරයා විසින් මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබාදීම සඳහා වෙන් කර ඇත. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අගමැතිවරයා විසින් පිළිතුරු ලබාදීමේ සම්ප්‍රදාය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කළේය. පෙබරවාරි මස 05 වැනිදා සිට 07 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට පසුගිය 24 වැනිදා කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය. ඒ අනුව පෙබරවාරි 05 වැනි (බදාදා) මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත. එදින පස්වරු 6.30 සිට රාත්‍රී 7.30 දක්වා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ. පෙබරවාරි 06 වැනිදා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය. පෙබරවාරි 07 වැනිදා නැසීගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනකු වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේ ශෝකය පළ කරනුයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ නන්ද මැතිව්, වෛද්‍ය රන්ජිත් අතපත්තු, එම්.එස්. තේමිස් සහ ප්‍රින්ස් ගුණරාසා කාසිනාදර් යන අය සම්බන්ධයෙනි. අජිත් අලහකෝන්
 

More News..