brand logo

පක්ෂ මූලස්ථානයේදී චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැණ හූ කියා පන්නයි

08 January 2020

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තවත් පිරිසක් සමග අනාරාධිතව කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම නිසා උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය මත ඊයේ (07 වැනිදා) කැඳවා තිබූ එම පක්ෂයේ ආසන සංවිධායක රැස්වීම අවලංගු කිරීමට සිදුවී ඇත. එම පක්ෂයේ උපදේශිකාවක ද වන හිටපු ජනාධිපතිනිය පෙරවරු 10.00ට පමණ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට පැමිණ අසුන් ගෙන සිට ඇති අතර එම අවස්ථාවේ දී පක්ෂ මහලේකම් හෝ වෙනත් කිසිදු නිලයක් දරන මන්ත්‍රීවරයෙක් හෝ පැමිණ සිට නැත. හිටපු ජනාධිපතිනිය පැමිණ මඳ වෙලාවකින් ඇතැම් ආසන සංවිධායකවරුන්ගේ විරෝධය ඇයට එල්ල වී තිබේ. එම විරෝධය හමුවේද ඇය අසුන් ගෙන සිට ඇති අතර එල්ල වූ විරෝධයට ඇය ප්‍රතිචාර දක්වා නොමැති නමුත් ඇය සමග පැමිණි සෙසු පිරිස ප්‍රතිචාර දක්වා ඇත. ඒ සමගම ආරාධනා මත පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් එල්ල වූ විරෝධය ක්‍රමයෙන් වර්ධනය වී ඇතැම් සංවිධායකවරුන් පරුෂ වචනයෙන් ඇයට බැණ වැදී තිබේ. මේ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර බහින්බස්වීම් සිදුවීමත් සමග පක්ෂ මූලස්ථානයේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එම අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය පක්ෂ මූලස්ථානයෙන් ඉවත් වී ඇත. හිටපු ජනාධිපතිනිය සමග පැමිණි පිරිස හා ආසන සංවිධායකවරුන් අතර ගැටුමක් ඇති නොවූයේ ඇය එම ස්ථානයෙන් ඉවත් වීම නිසා යැයි ආසන සංවිධායකවරයෙක් ‘අරුණ’ට පැවසීය. ඇතැම් සංවිධායකවරු ඇයට පරුෂ වචනයෙන් බැණ වදිමින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට බල කරද්දී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සංවිධායකවරුන් ඇමැතීමට අවශ්‍ය බවයි. සංවිධායකවරුන් ඇමැතීමට හිටපු ජනාධිපතිනියට නොහැකි වූයේ මයික්‍රෝෆෝනය විසන්ධි කර තිබීම නිසාය. ඉන්පසු හිටපු ජනාධිපතිනිය පක්ෂ මූලස්ථානයෙන් තුන්වන මහලේ පිහිටි පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරගේ නිල කාමරයට ගියත් ඔහු නොසිටීම නිසා පක්ෂ මූලස්ථානයෙන් ඉවත්ව ගියාය. කෙසේ වෙතත් මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හිටපු ජනාධිපතිනි මෛත්‍රිපාල සිරිසේන රැස්වීමට සහභාගි වීමෙන් වැළැකී ගියේය. රස්වීමට පැමිණි ආසන සංවිධායකවරුන් මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රිගේ නිවසට කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපතිනියගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරුවද කොළඹ ගොල්ෆේස්හිදී අද (08 වැනිදා) පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහාද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කර ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. නිලන්ත මදුරාවල, උදයජීව ඒකනායක
 

More News..