brand logo

පක්ෂ අරමුදලට සතපහක වැඩක් නොකළැයි ශ්‍රීලනිප භාණ්ඩගාරික තනතුරින් එස්.බී. දොට්ට දාන්න යයි

15 August 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඉවත් කර වෙනත් අයකු එම තනතුරට පත් කිරීමේ යෝජනාවක් එම පක්ෂයේ 68 වැනි සංවත්සරයට ඉදිරිපත් කෙරේ. ලබන මස 3 වැනිදා සවස 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. පක්ෂ සංවත්සරය උත්කර්ෂවත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (13 වැනිදා) රාත්‍රි රැස්වූ අතර ඉහත තීරණ ගෙන ඇත්තේ එම සාකච්ඡාවේදීය. හැටඅට වැනි සංවත්සරයේදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ රැසක් ප්‍රකාශයට පත් කරන බව එම සාකච්ඡාවට එක්වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට ඊයේ (14 වැනිදා) පැවසීය. පක්ෂයේ අරමුදලට සතපහක දායකත්වයක් එක් නොකළ භාණ්ඩගාරිකවරයකු ලෙස එස්.බී. දිසානායක නම් කළ හැකි බවත්, එවැන්නකු තවදුරටත් එම තනතුරේ තබා ගැනීම ප්‍රතිඵල රහිත බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය. භාණ්ඩාගාරික තනතුරට අමතරව පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන්නන්ගේ වෙනසක් සිදු නොවනු ඇතැයිද හෙතෙම පැවසීය. නිලන්ත මදුරාවල
 

More News..