brand logo

නෞකාවේ තෙල් විසිරෙනවාට වඩා තෙල් ගිනි ගැනීම හොඳයි

28 May 2021

පවතින කාලගුණික තත්ත්වයත් එක්ක තෙල් විසිරීම පාලනය කිරීම ප්‍රායෝගික නෑ තෙල් වෙරළට ආවොත් වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු සූදානම් විනාශවුණු නැවක සුන්බුන්වල අයිතිය තියෙන්නෙ වෙළෙඳ නාවුක ලේකම් කාර්යාංශයට නැවක් අනතුරකට පත්වෙලා අවුරුදු තුනක් යනකම් හානිපූර්ණ සම්බන්ධ ඉල්ලීම් කරන්න පුළුවන් නිව් ඩයමන්ඩ් නැව සම්බන්ධයෙන් රජයට මිලියන 454ක වන්දි ලැබුණා. සමුද්‍ර පරිසරයට වුණු හානිය ගැන වාර්තාවක් හිටපු නීතිපතිතුමා මාර්ගයෙන් නැව් සමාගමට යොමුකළා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් නිසා නැව අනතුරකට පත්වී ගිනි ගැනීම නිසා මේ වනවිට මීගමුව අවට වෙරළ කලාපය දැඩි පාරිසරික අර්බුද ගණනාවකට මුහුණ දෙන ලකුණු පහළ වී තිබේ. පරිසරවේදීන් පවසන්නේ මේ ඇතිවී ඇති තත්ත්වයේ අහිතකර බලපෑම් තවත් වසර තිහ හතළිහක් යනතුරු පැවැතිය හැකි බවකි. විශේෂයෙන් මේ නිසා සමුද්‍ර ජීවීන්ට, සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම මත්ස්‍ය සම්පතටද දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. එවැනි පසුබිමක් යටතේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් ඉන් වෙරළ කලාපයන්ට වන බලපෑම අවම කරගැනීමට ඇති සූදානම කුමක්ද? මේ නිසා සිදුවන සමුද්‍ර පරිසර හානිය පූරණය කර ගැනීම සම්බන්ධයෙන් ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයක් මොනවාද යන්න සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර දැක්වූ අදහස්ය මේ. අපේ මුහුදු කලාපයේ ගිනිගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මෙවනවිට අපට තියෙන ප්‍රධාන තර්ජනය මොකක්ද? දැන්නම් නෞකාව බොහෝ දුරට ගිනිබත් වෙලා අවසන්. ගින්න පටන් ගත්තෙ නෞකාවෙ ඉදිරි ප්‍රදේශයෙන්. මේ වෙද්දි නැවේ ඉදිරිපස කොටසෙ ගිනි දැල් දැන් අඩුවෙලා. මොකද දැන් ඒ කොටසෙ දැල්වෙන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. නැවේ පිටුපස කොටසට වෙන්න ගින්න තවදුරටත් තියෙනව. නාවුක හමුදාවේ යාත්‍රාවලින් සහ ගින්න නිවීමට ඉන්දියාවෙන් ආපු නැව් දෙකක් මේ ගින්න මැඬපැවැත්වීමේ කාර්යයේ යෙදී ඉන්නව. නැවේ තිබුණු බාහාලුම්වලින් 80%ක් මේ වෙද්දි මුහුදට වැටිල ඉවරයි. ඇතැම් ඒවා ගිනිබත් වෙලත් අවසන්. නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඒවා විනාශවෙන්න ඇති කියලත් අපි හිතනව. දැනට අපේ ප්‍රධාන අවධානය සහ අපට තියෙන ප්‍රධානම අවධානම තමයි නැවේ තියෙන තෙල්. තෙල් මෙට්‍රික් ටොන් 278ක් තියෙනව. ඒ කියන්නෙ නැවේ ධාවනයට තියෙන තෙල්. ඒ තෙල් ටිකට මොකක් වෙයිද කියන එක තමයි අපට තියෙන ලොකුම ගැටලුව. අපි හිතනව මේ තියෙන තෙල්වලින් සියයට පනහක්වත් දහනය වෙයි කියල. ඒ විදිහට තෙල් දහනය වීම, තෙල් විසිරීමෙන් ගෙන දෙන හානියත් එක්ක සන්සන්දනය කළොත් වඩා අඩු අවදානම තියෙන්නෙ මොන අවස්ථාවෙද? මේ වෙලාවෙ තෙල් දහනය වෙන තරමට අපි කැමැතියි. තෙල් දහනයෙන් වෙන්නෙ කෙටිකාලීන ප්‍රශ්න. නමුත් තෙල් විසිරුණොත් ඒක අපේ වෙරළ තීරයට දීර්ඝකාලීනව බලපානව. අනෙක් පැත්තෙන් ගත්තාම අපිට මේ වෙද්දි කරන්න කිසිම දෙයක් නෑ. ගිනිබත් වුණු නෞකාවක් වෙරළට ආසන්නයේ තියෙන මොහොතක බූම් කියන උපකරණ නෞකාව වටේ දාල තෙල් විසිරීම පාලනය කරගන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙ අපිට ITOPF (The International Tanker Owners Pollution Federation) ආයතනය (තෙල් විසිරීම ගැන ලෝකයේ ඉන්න හොඳම විශේෂඥවරු සිටින ආයතනය ) උපදෙස් දීල තියෙන්නෙ තෙල් රඳවා ගැනීම ප්‍රායෝගික නෑ කියන එක. ඔවුන්ගෙ උපදෙස තමයි සාගරයේ තියෙන රළු ස්වභාවයයි, අඩු පීඩන කලාපයයි, සුළඟෙ වේගයයි කියන කරුණු සැලකිල්ලට ගත්තාම වඩා ප්‍රායෝගික තත්ත්වය තමයි තෙල් වෙරළ තීරයට ආවොත් වෙරළ පිරිසුදු කිරීම කියන එක. ඒ නිසා ඒ සඳහා අපි මේ වෙද්දි සූදානම් වෙලා ඉන්නෙ. නැව මැදින් කැඩී වෙන්වීමෙන් සමුද්‍ර කලාපයට වෙන්න පුළුවන් හානිය වැඩිද? නැව මේ තියෙන විදිහටම ගිනිගත්තොත් මම පෙර කිව්ව වගේ ඒකෙ තියෙන තෙල් සියයට පනහක් හෝ ඊට වැඩියෙන් දහනය වෙන්න පුළුවන්. හැබැයි නැව දෙකට කැඩුණොත් මුහුද පුරා තෙල් විසිරී යන්න පුළුවන්. එය දීර්ඝකාලීන වශයෙන් සමුද්‍ර පරිසර පද්ධතියට බලපෑම් ඇතිකරන්නක් වෙනව. තෙල් විසිරීමක් කියන්නෙ සමුද්‍ර පද්ධතියකට වෙන්න පුළුවන් විශාලතම හානිය. වායුගෝලයේ තියෙන ඔක්සිජන් තමයි ජලයෙ දියවෙන්නෙ. තෙල් තට්ටු නිසා ඔක්සිජන් කෙළින්ම ජලයට යෑම නැතිවෙනව. ඒත් එක්කම මුහුදු පතුලට ආලෝකය යෑමත් සම්පූර්ණයෙන් නැතිවුණාම මුහුදු පතුලෙ තියෙන ප්‍රවාංග, ජලජ ශාක, ජලජ ජීවීන් විශේෂයෙන් මත්ස්‍යයන්ට මේ තත්ත්වය අහිතකර විදිහට බලපානවා. තෙල් විසිරීම සම්බන්ධයෙන් නාවික කටයුතුවලදී අන්තර්ජාතික වශයෙන් විශේෂ අවධානයක් යොමුකරල තියෙනව. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වෙන්නෙ අපේ රටේ සුවිශේෂී මුහුදු කලාපයක. මේ කලාපය අපේ රටේ ධීවර කර්මාන්ත සශ්‍රීකව කෙරෙන කලාපයක්. මුහුදු පරිසර පද්ධතියට හානිවෙනව වගේම මත්ස්‍ය සම්පතට බලපෑමක වෙනව කියන්නෙ ඒක අපට ආර්ථික වශයෙන් බලපෑම් කරන සාධකයක්. ඒ අර්ථයෙන් ගත්තාම පාරිසරික, සමාජයීය, ආර්ථිකමය කියන අංශ තුනෙන්ම බලපෑමක් වෙනව. තෙල් විසිරීමක් වුණොත් ඒ කලාපයේ මත්ස්‍යයන් පරිභෝජනයට ගැනීම සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑම් ඇතිකරනවා නේද? ඔව්, එහෙම වුණොත් ඒ පිළිබඳව ධීවර ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනව. නෞකාවෙන් මුහුදට එකතුවුණු රසායනික, ප්ලාස්ටික් කැට සහ ඉන්ධන නිසා සාගර ජීවීන් වගේම මත්ස්‍ය සම්පතට විශාල හානියක් වෙනව. මේ වෙද්දිත් සාගර ජීවීන් රැසක් මුහුදු වෙරළ ගොඩගසාගෙන එන බවක් පේන්න තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන මේ වෙලාවෙ නාරා ආයතනයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම ධීවර අමාත්‍යාංශයත් අපිත් එක්ක මේ වෙද්දි එකතුවෙලා කටයුතු කරනව. එනිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් සංවේදීවෙලා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. යම් නෞකාවක් වෙනත් රාජ්‍යයක සාගර කලාපයකට පිවිසීමේදී එකී නෞකාව අදාළ සමුද්‍ර කලාපයේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන්නෙ මොන විදිහටද? නාවික ක්ෂේත්‍රයේ සෑම නැවක්ම අන්තර්ජාතික නාවුක සංගමයේ ලියාපදිංචිවෙලා ඔවුන්ගෙ සාමාජිකත්වය ලබාගන්න ඕන. එම සංගමයේ ප්‍රඥප්ති ගණනාවක් තියෙනව. ඒ ප්‍රඥප්ති අනුව තමයි ඔවුන් කටයුතු කළ යුත්තේ. එතනදි මේ නෞකාවටත් ඒක අදාළයි. තමන් ගමන් කරන නාවුක කලාපය තුළ ඉතා සුපරික්ෂාකාරීව ගමන් කරන්න ඕන වගේම, අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම, තෙල් විසිරීම් පාලනය කිරීමට ඔවුන් බැඳී ඉන්නව. නැවේ කපිතාන්වරය බැඳී ඉන්නව ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරන්න. නෞකාවක් යම් සාගර කලාපයක විනාශයට පත්වෙනවා කියන්නෙ ඒක එක සාගර කලාපයකට පමණක් බලපාන දෙයක් නෙමේ. සාගරය කියන්නෙ ලෝකයෙ තියෙන විශාල පාරිසරික පද්ධතිය. ඒකෙ තාප්ප බැඳල සීමාමායිම් වෙන්කරන්න බෑ. ඒ නිසා ලොකු වගකීමක් තියෙනව නෞකා සමාගම්වලට මෙන්ම නෞකාවෙ කපිතාන්වරයට සාගර පද්ධතිය සුරක්ෂිත කරමින් තම යාත්‍රාවන් සිදුකිරීමට. ඒ වගේම ඔවුන් ලොකු රක්ෂණාවරණයකට බැඳී ඉන්නව, තෙල් විසිරීම සම්බන්ධයෙන් සිදුවන හානි පූර්ණය සඳහා. සමුද්‍ර දූෂණය කිරීමේ පනත යටතෙ අපට ප්‍රතිපාදන තියෙනවා සාගර කලාපයන් දූෂණය කරන නැව් සමාගම්වලට, පුද්ගලයන්ට අපරාධ විධිවිධාන යටතෙ වගේම සිවිල් වගකීම යටතෙ නඩු පවරල හානිපූර්ණය කර ගැනීමට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා අපේ සමුද්‍ර පාරිසරික පද්ධතියට සිදුවෙමින් තියෙන පරිසර හානියන් පිළිබඳ නීතිමය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමුද්‍රයීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් මොන වගේ අවධානයක් යොමුවෙලා තියෙන්නේ...? ඔව්, සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය වශයෙන් අපි මුල සිටම මේ නෞකාව සම්බන්ධයෙන් දත්ත රැස් කරමින් ඉන්නෙ. මීට පෙර නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයන් සමග ලැබුණු අත්දැකීම් අපට තියෙනව. ඒ අත්දැකීම් භාවිත කරල පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සිදුවීම සම්බන්ධයෙන් දත්තයන් මේ වෙද්දි එකතු කරල තියෙනව. එතනදි අපිට ධීවර අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව උදව් කරනව අපිට ආර්ථිකමය වශයෙන් කෙතරම් පාඩුවක් සිදුවුණා කියල සොයා බලන්න. මේ සියලු සාධක එකතු කරගෙන රටක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයන් ගැනීමට බලාපොරොත්තු වෙනව. මීට පෙර ආසන්නම සිදුවීම වුණ නිව් ඩයමන්ඩ් නෞකාව නිසා අපට සිදුවූ පාරිසරික හානිය සම්බන්ධයෙන් වන්දි අයකරගෙන තියෙනවද? නිව් ඩයමන්ඩ් නෞකාවෙන් අපිට ලැබෙන්න ඕන වන්දි කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒකෙ පළමු පියවර තමයි රජයට ඒ නැවේ ගින්න නිවන්න ගිය මුදල. ඒක මිලියන 442ක් විදිහට ගණනය කළා. ඒක සම්පූර්ණයෙන්ම අපිට ලැබුණ. නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරට පත්වීම සම්බන්ධයෙන් එහි කපිතාන්ගෙ නොසැලකිලිමත් බව හේතුවී තිබුණ බව අපට පැහැදිලි වුණා. ඔහුට විරුද්ධව අපි අපරාධ නඩුවක් කොළඹ මහාධිකරණයේ ගොනුකළා. එම කපිතාන්වරයා තමන්ගෙ වරද පිළිගත්ත. ඔහුට රුපියල් මිලියන 12ක දඩයක් එහිදී නියම වුණා. ඒ දඩයත් අපිට ලැබුණ. නිව් ඩයමන්ඩ් නෞකාවෙ අදියර දෙකකින් වන්දි මුදල් රුපියල් මිලියන 454ක් ලබාගැනීමට රජයට හැකිවෙලා තියෙනව. එහෙම ලැබුණට පස්සෙ තමයි අපේ ජල තීරයෙන් නෞකාව නිදහස් කර ගැනීමට අවසර ලබාදුන්නෙ. හැබැයි අපි එතැනින් නැවතිලා නෑ. තුන්වැනි පියවර විදිහට පරිසරයට සිදුවුණු හානිය පිළිබඳ විමර්ශනයක් කළා. ඒක ටිකක් සංකීර්ණ කර්තව්‍යයක්. ගැඹුරු මුහුදක වුණු පරිසර හානියක් පිළිබඳව අපට තියෙන අත්දැකීම් හරිම අඩුයි. ලෝකයෙත් එහෙම අත්දැකීම් අඩුයි. සාමාන්‍යයෙන් නැවක් අනතුරකට පත්වෙලා අවුරුදු තුනක් යනකම් හානිපූර්ණ සම්බන්ධ ඉල්ලීම් කරන්න පුළුවන්. මොකද ඒ ගණනය කිරීම් විද්‍යාත්මක වෙන්න ඕන වගේම ඒ සඳහා කල් ගතවෙන නිසා. නමුත් අපට පුළුවන් වුණා නිව් ඩයමන්ඩ් නැව නිසා සිදුවුණ පාරිසරික හානිය ගැන මාස තුන හතරක් වගේ කෙටිකාලයකදී වාර්තාවක් හදල හිටපු නීතිපතිතුමා විශ්‍රාම යන්න සති දෙක තුනකට පෙර එතුමාට ලබාදෙන්න. නීතිපතිතුමා අපි වාර්තාව භාරදුන් සැණින් ඒක අදාළ නැව් සමාගමට යැව්ව. ඒ නැව් සමාගම අපෙන් ඉල්ලීමක් කළා ඒ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට යම් කාල සීමාවක් අවැසි බව. මේ වෙද්දි ඔවුන් එය අධ්‍යයනය කරමින් ඉන්නෙ. ඔවුන් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නව. විනාශවුණ නැවේ මුහුදු බත් වුණු ඇතැම් ද්‍රව්‍ය මේ වෙද්දි ආසන්න වෙරළ තීරයන්ට ගොඩගසමින් තියෙනව. ඒ කිසිදු භාණ්ඩයක් අල්ලන එපා යැයි ඔබ පවා පසුගිය දිනවල පවසා තිබුණ. නමුත් ඒ කිසිවක් ගණනකට නොගත් ජනතාව කරේ තියාගෙන බඩු අදිනව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. ඔබ එම භාණ්ඩ ගෙනයන්න එපා කිව්වෙ සෞඛ්‍යමය පැත්ත ගැන හිතල. මේ සම්බන්ධ නීතිමය අයිතිය පැවරෙන්නෙ කාටද? ලංකාවෙ තියෙනව වෙළෙඳ නෞකා පිළිබඳ පනතක්. ඒ පනත යටතෙ අත්හැරල දාපු වගේම විනාශවුණු නැවක සුන්බුන්වල අයිතිය තියෙන්නෙ වෙ​ළෙඳ නාවුක ලේකම් කාර්යාංශයට. ඒ නිසා නැවේ සුන්බුන් අවට ඉන්න ජනතාවට ගෙනි යන්න හැකියාවක් නෑ. එහෙම ගෙනයෑම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම මේ මෙවැනි සුන්බුන් අතපතගෑමේදි සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් තියෙනව. එකක් තමයි මේ නෞකාවෙ තිබුණු රසායනික ද්‍රව්‍ය. ඒ රසායන වෙරළට ගොඩගසන සුන්බුන්වල, ආහාරවල තැවරී තියෙන්න පුළුවන්. අනෙක මේ නෞකාව අවසානයට නැංගුරම්ලා තියෙන්නෙ ඉන්දියාවෙ. ඒ නිසා නැවේ තියෙන චොක්ලට්, ආහාරවර්ග ඉන්දියාවෙන් මිලදී ගත් ඒවා වෙන්න පුළුවන්. ඉන්දියාව කියන්නෙ මේ වෙද්දි කොවිඩ් වසංගතයේ වැඩියෙන්ම බැටකන රාජ්‍යය. ඒ නිසා වෙරළට ගොඩගසා ඇති ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීම සෞඛ්‍යයට දැඩි තර්ජනයක් විය හැකියි. ඒ නිසා අනවශ්‍ය විෂබීජ ගෙදර අරගෙන යන්න එපා. ආසන්නතම ඉතිහාසයේ අපේ මුහුදු සීමාවේ මෙලෙස අනතුරට පත්වුණු දෙවැනි නැව තමයි මෙය. මේ තත්ත්වය අපේ සමුද්‍ර පරිසර පද්ධතිය කෙරෙහි කරන අහිතකර බලපෑම අනාගතයට මොන වගේ බලපෑම් සිදුකරයිද? මෙවැනි අනතුරු නිසා සිදුවන පරිසර හානිය තව අවුරුදු තිහ හතළිහක් පමණ තියෙන්න පුළුවන්. අපේ නාවුක කලාපයන් පිහිටලා තියෙන්නෙ ලෝකයේ නාවුක මාර්ගයේ සුවිශේෂී ස්ථානයක. අන්තර් ජාතික මුහුදු මාර්ගය පිහිටලා තියෙන්නෙ අපේ මුහුදු කලාපයේ. ඒ කියන්නෙ හම්බන්තොටට පහළින්. රට ආසන්නයේ. ඕනම වෙලාවක නැව් තුන්සීයක් හාරසීයක් අපේ දකුණු මුහුදු තීරයේ තියෙනව. එහි ආර්ථිකමය වශයෙන් ලාභදායී තත්ත්වයක් තියෙන වගේම අවධානමකුත් තියෙනව. ලෝකයේ තෙල් නෞකාවලින් 60%ක් විතර මැදපෙරදිග සිට ලෝකයේ නැගෙනහිර දිසාවට යන්නෙ අපේ මුහුදු කලාපය හරහා. ඒක තමයි අපට තියෙන අවදානම. ඒ වගේම අන්තර්ජාතික වෙළෙඳාමෙ යුරෝපයේ සහ ඇමරිකාවේ භාණ්ඩ තුනෙන් දෙකක් ප්‍රවාහනය වෙන්නෙ අපේ මුහුදු කලාපය හරහා. මේ පිහිටීම අපිට නාවුක ජාතිකයක් විදිහට නැගී ඉන්න හොඳ අවස්ථාවක්. නමුත් අපි දැනට අපට ලැබිල තියෙන්නෙ මේකෙ තියෙන අවදානම් තත්ත්වය විතරයි. ආර්ථිකමය වශයෙන් වාසිසහගත තත්ත්වය ගැන අවධානයක් යොමුකරන්නෙ නෑ. අවදානම විතරක් ගන්නෙ නැතිව ආර්ථික වාසියත් අරගෙන අවදානමට පෙර සූදානමක් වෙන්න පුළුවන් නම්, රටක් විදිහට නැගී හිටින්න මේකම ඇති. සංවාදය - ලක්මාල් බෝගහවත්ත
 

More News..