නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්දු වූ සිදුර වසා දැමේ
12 September 2020
නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්දු වූ සිදුර වසා දැමේ
12 September 2020
ගිනිගැනීමට ලක්වූ "MT New Diamond"නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු වසා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ජලයෙන් යට "MT New Diamond"නෞකාවේ පිහිටි බඳ ප්‍රදේශය ඊයේ (11) පරීක්ෂා කිරීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.
නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර් 19.3 ක් පමණ පහලින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර් 16 ක් පමණ පහලින් වූ, නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවරයන් දෙකකට (Sea water inlet) සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියට හානි වී ඇති බව එහිදී හඳුනාගෙන තිබේ.
මෙහිදී නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළ ට ගන්නා විවරයට (Sea water inlet) සම්බන්ධ හානි වූ අභ්‍යන්තර නළ පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍රිත ජලය මුහුදට කාන්දුවෙමින් පැවතීම හේතුවෙන් කඩිනමින් එම විවරය සම්පූර්ණයෙන් වසා දැමීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.
තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් ටග් යාත්‍රා ද මෙම මෙහෙයුමට සම්බන්ධව සිටී.
එමෙන්ම, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද අවශ්‍යතාවය මත යොදා ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගතකර ඇත.