brand logo

නොරොච්චෝලේ බිඳවැටීමෙන් පසු විදුලිය කැපුණේ මණ්ඩලයේ ගොන්කමින්

23 March 2019

හදිසි විදුලි අවශ්‍යතාවක් සඳහා මෙගාවොට් 100 ක විදුලියක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබියදී එය අවලංගු කිරීමේ ප්‍රතිඵල නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය බිඳවැටීමෙන් විඳීමට සිදු වූ බව ඉංජිනේරුවෝ පවසති. පසුගිය වසර 17 ක කාලයේ සිට හදිසි අවශ්‍යතා සඳහා එංගලන්ත සමාගමකින් විදුලිය මිලදී ගන්නා ලදී. එහි ගිවිසුම දීර්ඝ කිරීමට අවශ්‍ය වූ පසුගිය පෙබරවාරි 11 වැනිදා සිට විදුලිය මිලට ගැනීම තරගකාරී මිලදී ගැනීමක් අනුව සිදු කිරීමට ටෙන්ඩර් කැඳවීය. ඒ අනුව ඊට චීන, එංගලන්ත හා ඩුබායි හි සමාගම් තුනක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත. ඒකකයක් රුපියල් 28.50 බැගින් මෙගාවොට් 48 කට චීන සමාගමකුත්, ඒකකයක් රුපියල් 30.13 බැගින් මෙගාවොට් 18 කට එංගලන්ත සමාගමකුත්, ඒකකයක් රුපියල් 34.45 බැගින් මෙගාවොට් 34 ක් ඩුබායි සමාගමෙනුත් මිලට ගැනීමට ටෙන්ඩර් ඉදිරිපත් වූ පසුව ටෙන්ඩර් කැඳවා දින දෙකකින් එය අවලංගු කර තිබේ. මෙම තත්ත්වය මත බලාගාරයක හදිසි බිඳවැටීමකදී අමතරව විදුලි උත්පාදනයක් නොමැති නිසා විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ඉංජිනේරුවෝ පවසති. කෙසේ වෙතත් එම ටෙන්ඩරය අහෝසි කිරීමට හේතු වි ඇත්තේ මිලදී ගැනීම ප්‍රමාද කර හදිසි අවශ්‍යතාවකදී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වැඩි මිලකට විදුලිය ලබා ගැනීමට බව විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මණ්ඩලයට දිගින් දිගටම සිදුවන පාඩුවක් අවම කර ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම්වලට නොගොස් මණ්ඩලය යෝජනා කර ඇති විදුලි උත්පාදන ස්ථාන හා බලාගාර අාරම්භ කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය බිඳවැටීමෙන් හදිසියේ මිලදී ගැනීමට ගිය මෙගාවොට් 100 ක ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවද ඔහු සඳහන් කළේ ය. මධුභාෂණ හේරත්
 

More News..