brand logo

නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇති බව ජනපති කියයි

28 April 2020

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්විණි. අදාල හමුව පිළිබද ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබු සටහන පහතින් දැක්වෙයි. මම අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත වූයෙමි. කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව ප්‍රසාදය පළ කළහ. වසංගතය ඉක්මණින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයෝ දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇති බව මම උන්වහන්සේලා දැනුවත් කළෙමි. ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව මහා නා හිමියෝ කීහ. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව මම පෙන්වා දුන්නෙමි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු තිබෙන බව සහ ඒ අරමුණු පසුපස සිටින අය හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව මම අවධාරණය කළෙමි. නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට මාගේ අවධානයද යොමුවී ඇත. කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට මම බලාපොරොත්තු වෙමි. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
 

More News..