brand logo

නොනගතය මගේ හොඳම නැකැත් වෙලාව වුණා - ආරාධනා ඒකනායක

14 September 2019

ඈ ආරාධනා ඒකනායක. යෞවනය ආකර්ෂණය කළ ගී ගොන්නකම පද රචිකාවිය ලෙස ඈ නමක් දිනා ඇත්තියක්. මෑතක රාවණා, නමින් ගීතයක් ලියා ඇයම නිෂ්පාදනය කර තිබුණා. දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ශෂිකා නිසංසලා ගයන ඒ මියුරු ගීතය මේ දිනවල කතාබහට ලක්වන ගීයකි. ආරාධනා සමග රාවණා ගැනත් ඇගේ ගී ගමන් මග ගැනත් අප කතා බහ කළා. “මම කැකිරාවේ උපන්නෙ. කැකිරාව මධ්‍ය විද්‍යාලයෙ ඉගෙන ගත්තෙ. උසස් පෙළ ලියා ගෙදර ඉද්දි මම පාළුවට ගී පද ලිව්වා. සිංහල අලුත් අවුරුද්දක් ඔන්න මෙන්න තියෙද්දි මම රෝෂාන් ප්‍රනාන්දුගෙ පූජනීයයි ආදරේ සී.ඩී. එක ගත්තා. ඒකෙ ඔටෝග්‍රාෆ් එකක් තිබ්බා. එහි තිබුණා රන්සිළු ආයතනය නිෂ්පාදනය කරන සීඩී එකකට අලුත් පද රචනා ගන්නවා කියලා. ඉතින් මම ලියලා තිබුණ ඒවා හතරක් නොනගතය වෙලාවෙ ලියලා තැපැල් කළා. එයින් ගී 3ක්ම ඔවුන් තෝරාගෙන තිබ්බා. නොනගතය මගේ හොඳම නැකැත් වෙලාව වුණා.” තවමත් යොවුන් මුව රැව්දෙන චාමර වීරසිංහ ගයන සිතින් විතරක් පෙම් කරන්නම්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගයන පෙම් සිත රිදුනා රත්තරනේ යන ගී දෙකත් ඈ විසින් නොනගතේ මුලින්ම ලියූ ගීය. “රන්සිළු එකෙන් මට එන්න කියලා ගිවිසුම් අත්සන් කරලා ගීත රචනා ගාස්තුවකුත් ගෙව්වා. ඊට පස්සෙ දවසක මට අහම්බෙන් රේඩියෝ එකෙන් ඇහුනා සිතින් විතරක් පෙම් කරන්නම් ගීතය. මට මතක් වුණා ඒ මම ලියපු එක කියලා. දවසම රේඩියෝ එක ළඟ ඉද්දි ආයෙත් සැරයක් සිංදුව ඇහුණා. මම හිතුවේ වේරලියද්ද කියන්නෙ කියලා. ඒ දවස්වල චාමර වීරසිංහ කියලා ගායකයෙක් අපි දැනන් හිටියෙ නැහැනේ” ඇගේ ගී ගමන් මගේ ආරම්භය එසේය. පසුව ආරාධනා ගුවන්විදුලි පිටපත් රචිකාවක් ලෙස ශ්‍රී එෆ්.එම්. නාළිකාවට බැඳී ඇත. එවකට ප්‍රකට කණාමැදිරි රාත්‍රිය, පිටපත් රචිකාවියද ඇයය. “දැන් ඉතින් මම නිතර ලිව්වා. රන්සිළු එකට කළ චාමරගෙ දෙවන සීඩී එකට ලිව්වා මම ‘‘මතකයන් ඔබේ හිතේ දරාගෙන, ගීතය සහ සමාවෙලා හදාගන්න මට මගේ හිත කියන ගීත. ඒවත් ජනප්‍රිය වුණා. ඊට පස්සෙ ශිල්පීන් රැසකට ලියන්න භාග්‍ය ලැබුණා මට.” ඇය ඇගේ පෙම්වතා වූ නිර්මාණ ජීවිතය ශක්තියක් ගෙනා මිලාන් සමග විවාහවීම සමග තවත් නිර්මාණකරණයේ සබඳතා වර්ධනය වී තිබේ. “මම ලියපු ගී මතක් කළොත්... මතක විදියට කියන්නම් කෝ චාමර වීරසිංහගේ ඔය කිව්ව ගීවලට අමතරව ‘කුමුදුලියේ සඳ එළියේ නැහැවෙනා’ ගී පද එතකොට ඉඳුනිල් අද්‍රමාන ගයන පොඩි මල්ලි සහ සුවඳ ඔබේ, අතුල අධිකාරි ගයන ‘මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න’ අතුල අයියාම ගයන හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න, කවිෂ කවිරාජ් ගයන ‘ඔබ ළඟින්ම දැවටෙනා, සුරේන්ද්‍ර පෙරේරා ගයන අනුරාගිනි දෑසේ වෙලී, අසංක ප්‍රියමන්ත පීරිස් ගයන ‘ආදරෙයි මං ඔය හිතට තාමත්” වගෙ තව ගීත තියෙනවා. ගීත කීපයකටම මට අවස්ථාව හදලා දුන්නෙ ලහිරු මුදලිගේ අයියා.. මම නිෂ්පාදනය කළ එකම ගීය ශෂිකා නිසංසලා ගයන රාවණා. ඒක කළේම මගේආසාවට. ශෂික අක්කා පද දැකලා ස්වෙච්ඡාවෙන්ම ගායනා කළා.” ඈ රාවණා ගී පද ලියා නිෂ්පාදනය කරන්නෙ කාන්තා ප්‍රේමය ඇයට දක්වන ගෞරවය රැකවරණය විශ්වාස කිරීම වැනි කරුණු මත බව ප්‍රකාශනය පිණිසය. ඈ මෙතෙක් ලියූ සරල අදහසකින් එහා ගොස් එය රචනාකර ඇත. “රාවණා මා ඔබේ සීතා, සුරැකි පතිදම් හිමි නමින්, බැඳුන ඔබ වෙත පෙම් දමින්, රාවණා මා ඔබේ සීතා. බැල්මකින්වත් නොදුන් හිරිහැර, වදනකින්වත් නොකළ අතවර, සිතින් අල්ලාගෙන කියාදුන් ආදරේ දැනුණා. මා ඔබේ සීතා. හිමි නමින් මා සුරැකි පතිදම්, සැක කළා ඔහු දෙවැනි කොට පෙම, නොදැවුණත් මා ගිනි ගොඩක් මැද දැවෙනවා රාවණා මා ඔබේ සීතා’ ඔබම හිතන්නකෝ ඉන්දීය රාම - රාවණ කතාව හෝ ලංකාවේ රාම - රාවණ කතාව අරං නියම පිරිමියා කවුද? සැකය පරික්ෂා කරන්න ගින්නට පනින්න අණ කළ රාමාද, සීතාට වචනයකින්වත් හිරිහැරයක් නොකළ රාවණා ද.? එතකොට සීතා ආදරය කරනව නම් ඇත්තටම ආදරය කරන්න ඕන රාවණාට නෙවෙයිද. රාවණාට සාපේක්ෂව රාම මිනිහෙක්ද.? මට ඕන කළා ඒක ප්‍රශ්න කරන්න. දැන් රාම - රාවණ කතාව මම සංකේත වශයෙන් ගත්තේ තමන්ව නිරපරාදේ සැකකර පරීක්ෂා කරන ස්වාමියන් ලෝකයේ කොච්චර ගැහැනුන්ට කොයි තරම් ගිනි දෙනවද.? ඒ ගැහැනු භෞතිකව නොදැවුණත් හැබෑ විස්වාසනීය ආදරයක් ගැන කොතරම් දැවෙනවා ඇද්ද හිතින්.” ආරාධනා ගේය රචිකාවියක් ලෙස සහ මානව ප්‍රේමණියක් ලෙස පරිණත වෙමින් සිටින බවට ඇගේ ඒ අදහස් මෙරට රසික ජනයාට ඒත්තු ගන්වනු ඇත. මම ලිව්ව හැම ගීතයටම කැමැතියි. නමුත් මට අවශ්‍ය වුණා මේ වගේ මානයක සිට ලියන්න. ඒක දර්ශන වික්‍රමතුංග අයියා ලස්සනට මෙලඩි කළා. ශෂිකා අක්ක එයාගෙ මියුරු හඬ මේ ගීතයට තෑගි කළා. දැන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම පත්තරවලට කතා කරන්න ටිකක් බයයි. එක සැරයක් මම නොකිව් අදහසක් හෙඩින් එකට දාලා මම සෑහෙන්න බැණුම් ඇහුවා. ඔයාලා එහෙම කරන්නෙ නෑ කියලා දන්නවා.” ආරාධනා ඒකනායක නම් ගතෙනුත් සිතෙනුත් සුන්දර යොවුන් ගී රචිකාවිය යහපත් බිරිඳක් මෙන්ම සුන්දර පුතෙකුගෙ මවකි. ඇගේ සුන්දර සිතිවිලි ගීත බවට පත්වෙමින් තව බොහෝ කල් රසික ජනයාගෙ සිත් ආකර්ෂණය කරනු නිවනු ඇති බව අපේද විශ්වාසයයි. ජයන්‍ත සුබසිංහ
 

More News..