brand logo

නෙළුව-ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ජනපති නිරීක්‍ෂණයට

29 August 2020

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. නෙළුව ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වනාන්තරයට හානිවන බවට එල්ලවන චෝදනා පිළිබඳ සියැසින් දැක ගැනීමට ජනාධිපතිවරයා අද (29) නිරීක්ෂණයකට එක්විය. ඒ එහි සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසීම සඳහායි. ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය නිරීක්ෂණය සඳහා මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව තිබේ. නෙළුව - ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා විය. සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන අතර තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායයි. සියවසකට අධික කාලයක සිට ගැමියන් සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යයි. නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වයයි දැඩි බාධාවක් වී ඇත. ඊට පිළියම් ලෙසයි “නෙළුව - ලංකාගම - පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කිලෝමීටර් 18ක දුර ප්‍රමාණය මාස තුනක් තුළ නිම කිරීමට උපදෙස් දී තිබේ. මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන් වීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 4කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වනු ඇත. ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කර ඇත. නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ. ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කර තිබේ. ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද මීට සමගාමීව සිදු කෙරෙණු ඇත. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරෙනු ඇත. පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 3 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
 

More News..