brand logo

නුවරදී ටෙලි නාට්‍ය කණ්ඩායමට කොවිඩ් හැදුණු හැටි

05 December 2020

මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය තුළින් කතා බහට ලක් වෙන්නේ කොරෝනා එහෙම නැත්නම් කොවිඩ් 19 පොකුරු ගැන. පොකුරු වශයෙන් කොරෝනා ගැන කතා වෙද්දී අලුතින්ම නිර්මාණය වන පොකුරක් විදියට බොහෝ දෙනා ටෙලි පොකුරක් ගැන කතා කරනවා. ඇතැම් සමාජ මාධ්‍ය මෙය විවිධ ආකාරයට වාර්තා කර තිබෙනවා. ඇතැම් සමාජ මාධ්‍ය විවේචනයට ලක් කරන්නේ විදෙස් රටවල කලාකරුවන් තමන්ට කොවිඩ් 19 වැලඳුණු පසු එය සිය සමාජ මාධ්‍ය හරහා දැනුවත් කළත් ලංකාවේ එහෙම නොවන එකයි. කෙසේ වෙතත් එය තමන්ගේ පෞද්ගලික කාරණාවක්. එමෙන්ම එසේ තොරතුරු සමාජ ගත කළ යුතුයි යන්න කිසි විටෙක සෞඛ්‍ය අංශ දන්වා නැහැ. සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ඇතැම් දේ සීග්‍රයෙන් ජනතාව අතරට ගියත් එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ දෙපාරක් සොයා බැලිය යුතුමයි. මෙහි ආරම්භය වන්නේ "ගරුඬ මුහුර්තය" ටෙලි නිර්මාණයේ රූ ගැන්වීමකදී ඇති වූ සිද්ධියකින්. ඒ නිසා එහි අධ්‍යක්ෂවරයා වන ප්‍රියාල් වීරසිංහ එක්ක කතා කරන්න හිතුවා. ඒ වෙන කිසිවක් නිසා නොව තැනින් තැන කතා බහට ලක්වෙන කාරණා නිසාම. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගරුඬ මුහුර්තය ටෙලි නිර්මාණයේ අවසන් කොටසේ රූ ගත කිරීම් සඳහා පසුගිය 18 වැනිදා නුවර තෙල්දෙණියට ගිහින් තියෙන්නේ. ඒ 19 වැනිදා උදේ වෙද්දී රූ ගත කිරීම් ආරම්භ කරන්න. සියලු දෙනා 18 වැනිදා නුවරට ගියත් 19 වැනිදා උදේ වෙද්දී තමා අකිල ඇවිත් තියෙන්නේ. ඒ තවත් රූපවාහිනි නාළිකාවක පෙර පුහුණුවීම් කටයුතු අවසන් කරලා. කොහොම හරි එදා ඒ එද්දී එයාගේ කකුල් දෙකම තුවාල වෙලා තිබ්බේ. නර්තන කටයුතුවල පෙර පුහුණුවීම් සඳහා දාපු අලුත් සපත්තු දෙකක් නිසා. 19 දවල් වෙද්දී කකුල් දෙකේ තුවාල නිසා ඇඟට අමාරුයි කිව්ව නිසා එයාගේ කොටස රූ ගත කිරීම් එදිනට නතර කරලා අනිත් අයගේ කොටස් රූ ගත කිරීම් කළා. හැබැයි පහුවදා වෙද්දී කුද්දැටි ඇවිත් උණ ගත්ත නිසා. ඒ කිට්ටුව ඉන්න බෙහෙත් සාප්පුවට කතා කළාම තුවාලයකටවත් මේ කාලේ බෙහෙත් දාන්න බෑ කිව්වා. අනික උණ ගතියක් තියෙන නිසා අනිවාර්‌යෙන්ම PCR එකක් කරන්න ඕනේ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකට කතා කළා. ඔහුත් බලලා කිව්වේත් මේ තුවාල සහ කුද්දැටි නිසා උණ එන්න ඇති කිව්වා. ඒ එක්කම අපි ගෙදරට කතා කරලා විස්තර කියලා තෙල්දෙණිය රෝහලට කතා කළාම එදා නම් කරන්න බෑ හෙට තමා PCR එක කරන්න වෙන්නේ. රිපෝර්ට් එක එන්න නම් දවස් දෙක තුනක් යනවා කිව්වා. ඒ නිසා ගෙදරට කියලා වහනයක් කතා කරලා කොළඹට එව්වේ. කොළඹදී තමා PCR එක පොසිටිව් කියලා දැන ගත්තේ. ඔහු නැතිව රූගත කිරීම් කරන්න බැරි නිසා අපි සියලු රූගත කිරීම් නතර කළා. මෙහෙ ඉඳන් ගිය අයට ආයේ එන්න එපා කියලා දැනුවත් කළා. මෙය ඇත්තටම නොසිතූ විදියට සිදු වුණ දෙයක්. හැබැයි අපි කිසි විටෙක මේක වසන් කළේ නැහැ. අපේ රූගත කිරීම්වල ඉඳලා වෙන නාට්‍යයවල වැඩවලට ගිය අයට පවා අපි ක්ෂණික දැනුම් දුන්නා. ඒ වගේම අපි මෙහෙ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පොලිසිය පවා දැනුවත් කළා. අපිට කිසිම රෝග ලක්ෂණයක්වත් නැති නිසා ගෙදර ගිහින් නිරෝධායනය වෙන්න කිව්වත් අපි තීරණය කළා දින 14ක කාලය මෙහෙම ඉන්න. දැන් තෙල්දෙණියේ අපි 17 දෙනෙක් නිරෝධායනය වෙනවා. අනිත් අය නිවෙස්වල. අපි රූ ගත කිරීම්වලට ගියේ සියලු නිරෝධායන නීතිවලට අනුගත වෙමින්. මොකද අපි රූ ගත කිරීම් කරන්න කලින් තෙල්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට කතා කළාම ඔහු කිව්වේ අපි ජීවත් වන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් සහතිකයක් අරගෙන එන්න නිරෝධායනය වන හෝ නිරෝධායන වන කිසිවෙක් සිය පවුලේ නොමැති බවට. පැමිණි සියල්ලට එම සහතිකය තිබ්බා. ඒ එක්කම දිනපතා උණ බලලා සෞඛ්‍ය ආරක්ෂිතව තමා සියල්ල කළේ. උදේ හවස අපේ කණ්ඩායම තුළ කොත්තමල්ලි පවා හදලා දුන්නා. නමුත් කොරෝනා කියන්නේ කොයි මොහොතක හෝ පොසිටිව් විය හැකි දෙයක්. ඒ වගේම එය කිසිවෙක්ට කොහෙන් කොහොම ශරීරගත වුණාද කියන්න අමාරුයි. හැබැයි මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ බොහෝ ව්‍යාජ පුවත් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ ගැන යම් කනගාටුවක් තියෙනවා. කලාකරුවන් කියන්නෙත් සාමාන්‍ය ජනතාවම තමා. ඔවුන්ට එය තදින්ම දැනෙන්නේ ඔවුන්ගේ පවුලේ අයටත් මෙය ආසාදනය වුණොත් පමණයි. අපි නිතරම වගේ කතා බහ කරලා බලනවා. ඔහු දැන් ඉතා හොඳින් සුව වෙමින් ඉන්නවා. ඒ නිසාම ඒ එක්කම අපි ඔහු ළඟින්ම රූ ගැන්වීම් කටයුතු කළ අයගේ PCR පරීක්ෂණ කඩිනමින් කළා. ඒ කිසිවකුට කොවිඩ් පොසිටිව් වෙලා නැහැ. අනිත් සියලු දෙනාගේත් PCR පරීක්ෂණ අපි 30 වැනිදා සිදු කළා. මේ වෙද්දී හැමෝම හොඳින් ඉන්නවා. ප්‍රධානම දේ තම තමන්ගේ පරීක්ෂාව ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න එක. අනිත් එක පොඩි හරි සැකයක් තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්න එක තමා කරන්න තියෙන්නේ. අපි වුණත් මුල් වෙලාවේම අදාළ අංශ දැනුවත් කළ නිසා ලොකු විනාශයක් වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කියන්න ඕනේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබන නාට්‍යයක් තමයි ගරුඬ මුහුර්තය කියන්නේ. ඉතින් ස්වාධීන රූපවාහිනිය ප්‍රේක්ෂකයාට හානියක් නොවන විදියට කටයුතු කරන්න පියවර ගෙන තියෙනවා. වත්මන් සභාපති සුදත් රෝහණ මහතා පවා නිතරම අපිට කතා බහ කරලා අවශ්‍ය දේ සොයා බලනවා. ඒ ගැනත් කෘතඥ පූර්වකව මතක් කරන්න ඕනේ. ඒ එක්කම තෙල්දෙණිය පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු නිරන්තරයෙන් අපි ගැන සොයා බලලා ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා. මේ සියල්ල නැවත යථා තත්ත්වයට පත්වෙන්න සති තුනක වගේ කාලයක් ගතවෙයි. එතැනින් පසුව අපි මේ අවසන් රූ ගත කිරීම් කටයුතු කරලා නාට්‍යය සාර්ථකව අවසන් කරන්න සූදානමින් ඉන්නවා. අනුෂා රණසිංහ
 

More News..