brand logo

‘නුවනින් පටන් අරන් තුසිතයෙන් අවසන් වන’ බස්නාහිර බස් පාලනය

06 April 2019

රටේ ආර්ථික සහ පරිපාලන මර්මස්ථාන ගණනාවක්, ප්‍රධාන පෙළේ පාසල් ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල ගණනාවක් ද පිහිටා තිබෙන බස්නාහිර පළාත අපේ රටේ කාර්යබහුලම පළාත බව අමුතුවෙන් කිව යුතු නොවේ. විවිධ අවශ්‍යතා වෙනුවෙන් දිනපතා එහි යන එන මිනිසුන්ගෙන් ලක්ෂ 22 ක් පමණ වන ජනතාවකගේ ගමන් පහසුව සැලැස්වීමට, පෞද්ගලික බස්රථ පමණක් 6000 ක ප්‍රමාණයක් සෑදී පැහැදී සිටී. එහෙයින් බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනය ද ‘අති දැවැන්ත මෙහෙයුමක්’ බව පෙනෙන අතර එය පවත්වාගෙන යාමේ මූලික ම වගකීම පැවරී ඇත්තේ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ආයතනයට ය. ඒ අනුව බස් 6000ක් නිවැරදි කාලසටහන් අනුව ධාවනය කිරීම, බස් නැවතුම්පොළවල් 56 ක් පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම, බස් රථවලට ‘මාර්ග බලපත්‍ර’ ලබාදීම මෙන්ම ඒ වෙනුවෙන් වැඩකරන 800 කට වඩා වැඩි සේවක පිරිසක් පාලනය කරමින් ඔවුන්ට වැටුප් ගෙවීම ද සිදු කෙරෙන්නේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ආයතනය විසිනි. මේ ආකාරයේ දැවැන්ත මෙහෙයුමක් සිදු කරමින් සිටින ‘බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය’ පිළිබඳ පසුගියදා බස්නාහිර පළාත් සභාවේ දී සුසිල් කිඳෙල්පිටිය මන්ත්‍රීවරයා කළ කතාව නම්, ‘සුබවාදී’ නොවේ. ‘‘බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හොර ගුහාවක්. ඒකෙ හොර වැඩ නුවනින් පටන් අරන් තුසිතයෙන් අවසන් වෙන බවයි පේන්නේ...’’ කරුණු ගණනාවක් ඉදිරිපත් කරමින් කිඳෙල්පිටිය මන්ත්‍රීවරයා කළ කතාව අවසන් වූයේ එසේ ය.‘නුවනින් පටන් අරන් තුසිතයෙන් අවසන් වන’ කතාව පටබැඳී තිබෙන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති නුවන් වනිගරත්නගේ සහ නව සභාපති තුසිත කුලරත්න යන දෙදෙනාගේ නම් දෙක සම්බන්ධ කරගනිමිනි. බස්නාහිර පළාත් සභාවේ දී කිඳෙල්පිටිය මන්ත්‍රීවරයා කළ ඒ කතාවටම අනුබල දෙන බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයෙකු පැවසූවේ මෙසේ ය. ‘‘නුවන් වනිගරත්න අපේ හිටපු සභාපතිතුමා දූෂිත හින්දා තමයි ජනාධිපතිතුමත් මැදිහත්වෙලා අලුත් සභාපතිතුමා හැටියට තුසිතව පත් කරන්නෙ. ඒ වුණාට නුවනුයි තුසිතයි කියන්නෙ දෙන්නාට දෙන්නා පිට කහ ගනිමින් වැඩකරන දෙන්නෙක්. අලුත් සභාපතිතුමා පරණ සභාපතිතුමාගෙ හොර වැඩ වහනවා. පරණ සභාපතිතුමා අලුත් සභාපතිතුමාව රකිනවා. අපිට වෙලා තියෙන්නෙ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත මිනිහට වෙච්චි දේ...’’ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට එල්ල වන ප්‍රධාන චෝදනාව වන්නේ, එය බස්රථවලට මාර්ග බලපත්‍ර ලබාදීමේ දී ‘මුදල් වංචා’ සිදු කරන බවයි. බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ග අංක 450 කට පමණ අදාළව ගමන් බලපත්‍ර ලබාදෙන අතර, ඒවා නිකුත් කෙරෙන්නේ, ඒ ඒ වර්ෂයට අදාළව ඉදිරිපත් වන වැඩිම ඉල්ලුමට ය. මෙසේ ඉදිරිපත් වන වැඩිම ඉල්ලුම යනු ‘රුපියල් කෝටි ගණනකි’. ඒ අනුව 2017 දී කඩවත-මහරගම අධිවේගී මාර්ගයේ මාර්ග බලපත්‍රය අලෙවි වූයේ ඒ සඳහා ඉදිරිපත් වූ වැඩිම ඉල්ලුමට, එනම් ‘රුපියල් එක්කෝටි පනස් හත් ලක්ෂයකට ය. ඉල්ලුම්කරුවන් හයදෙනෙකුට එම මිලටම ලබාදුන් එම මාර්ගයේ මාර්ග බලපත්‍රය තවත් දෙදෙනෙකුට නිකුත් කර තිබුණේ, ‘රුපියල් 16 ලක්ෂ 66 දහසකට’ ය. ඒ අනුව මෙම ගනුදෙනුව හරහා අධිකාරියට අයවිය යුතු රුපියල් ‘දෙකෝටි අසූ ලක්ෂයක්’ පමණ අහිමි වූ අතර එම මුදල අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු අත බෙදී ගියේදැ’යි සැකයක් ද මතු විය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පරීක්ෂණයක් ද පැවැත් වුණු අතර ඒ අනුව දැන් එය උසාවිය හමුවට යා යුතු නඩු නිමිත්තක් බවට ද පත්වී තිබේ. මේ අකාරයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට චෝදනා එල්ලවන්නේ, මාර්ග බලපත්‍ර ලබාදීමේදී කරනු ලබන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පමණක්ම නොවේ. කලින් සභාපතිවරයා ඔහුගේ ප්‍රදේශයේ, එනම් කටානේ මිනිස්සුන්ට ඉවක් බවක් නැතිව අධිකාරියේ පත්වීම් දුන් ආකාරයෙන්ම වත්මන් සභාපතිවරයා තමන්ගේ ගම් ප්‍රදේශය වන බුලත්සිංහල අයට ඉවක් බවක් නැතිව පත්වීම් දෙන බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ. ඉවක් බවක් නැතිව කෙරෙන මෙම ‘පත් කිරීම්’ නිසා මේ වන විට විශේෂයෙන් ම ‘වේලා සටහන්කරු’ තනතුරේ අනුමත සේවක සංඛ්‍යාව වන 380ට වඩා වැඩියෙන්, එනම් 420 ක් පමණ අලුතින් බඳවාගෙන ඇත. දැනටමත් අධිකාරියේ සේවය කරන ‘සභාපතිවරයාගේ හිතවතුන්ට’ ඉහළ තනතුරුවල ‘වැඩබලන පත්වීම්’ ලබාදී ඇති අතර එසේ ‘වැඩබලන්නන්ට’ වැටුපට අමතර ‘වැඩ බැලීමේ දීමනා ද’ ගෙවනු ලැබේ. ‘වැඩබලන පත්වීම් ලබාදීම’ වහාම අත්හිටුවා පුරප්පාඩු තනතුරුවලට නියමිත ක්‍රමයට සුදුස්සන් පත්කරන ලෙසට පළාත් ප්‍රධාන ලේකම් විසින් කර තිබෙන ‘නිර්දේශය’ ද සභාපතිවරයාගේ අවධානයට ලක්වී ඇති බවක් නොපෙනේ. එසේ නොවන්නට අධිකාරිය තුළ තවදුරටත් ‘වැඩබලන්නන් 15 දෙනෙකු’ සිටින්නට හේතුවක් නැත. පරිපාලන (ධාවන) තනතුරේ සිටි අයෙකු ‘එක රැයින්’ ප්‍රාදේශීය කළමනාකරු වැනි උසස් තනතුරක වැඩ බැලීමට දැමීම, අධිකාරිය විසින් ලබාදී තිබෙන ‘වැඩබලන පත්කිරීමකට’ එක් උදාහරණයක් පමණි. හාස්‍යයට කරුණ වන්නේ, එකී පත්වීම ලබන පුද්ගලයා පරිපාලන (ධාවන) තනතුරට පවා නුසුදුසු අයෙකු වීම ය. මන්ද පරිපාලන (ධාවන) තනතුරට අදාළ සම්මුඛ පරීක්ෂණයේදී ඔහු විසින් ලකුණු ලබාගෙන තිබුණේ 16 වැනි තැනට ය. එහෙත් සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලැයිස්තුවේ මුල් 15 දෙනාම කපාහරිමින් ‘අදාළ පුද්ගලයා’ පරිපාලන (ධාවන) තනතුරට පත් කරගෙන තිබුණු අතර ‘ප්‍රාදේශීය කළමනාකරු තනතුරේ වැඩ බැලීම’ සඳහා පත්කර තිබුණේ ඉන්පසුව ය. එපමණක් ද නොව, එම පුද්ගලයාට ‘වැඩ බැලීම’ වෙනුවෙන් වෙනම රුපියල් 11,917 ක දීමනාවක් ද මාසිකව ගෙවනු ලැබේ. මීට අමතරව අධිකාරියේ දේපළ අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් ද වත්මන් සභාපතිවරයාට ද එල්ල වී තිබෙන චෝදනා ද සුළුපටු නොවේ. බස්නාහිර පළාත් සභාවේ හැන්සාඩ්ගතවී ඇති තොරතුරු අනුව රියදුරු පුහුණු පාසලේ වෑන් රථය ගෙන තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික ගමන් බිමන්වලට ය. මේ අතර සභාපතිවරයාගේ කාර්යයාලයට දී තිබුණු පරිගණකය, වර්ණ ප්‍රින්ටරය, ඩිජිටල් කැමරාව, ලැප්ටොප් පරිගණකය යන භාණ්ඩ සියල්ල අතුරුදන් වී ඇති බව 2019 පෙබරවාරියේ පැවැත්වූ අභ්‍යන්තර විගණනයකින් අනාවරණය වී තිබේ. මේ අතර පසුගියදා බස්නාහිර පළාත් සභාවේදී, බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ‘පෙට්‍රල් බොන්නේ ද?’ යන ප්‍රශ්නය ද ඉස්මතු කෙරුණි. ඒ අවුරුද්දක් සඳහා සභාපතිට අනුමත ඉන්ධන ප්‍රමාණය ලීටර් 2040 ක් පමණ වෙද්දී, 2017 ඉන්ධන ලීටර් 1600 ක් ද, 2018 දී ඉන්ධන ලීටර් 3000 ක් ද වැඩිපුර ලබාගෙන ඇති බව අභ්‍යන්තර විගණනවලදී අනාවරණය වී තිබූ බැවිනි. කෙසේ වෙතත්, බස්නාහිර පළාත් සභාවේ දී ‘මේ කතාව’ විවාදයට ගැනුණු අවස්ථාවේදී, ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, ‘‘මටවත් ඔච්චර ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන්නේ නෑ...’’ යනුවෙනි. ‘බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය’ සම්බන්ධයෙන් එදා පළාත් සභාවේ පැවැති කතාබහේ ‘අතුරු කතා’ ලොබිය දිගේ ද ගලා යමින් තිබුණු අතර එහිදී ද ‘තවත් අපූරු කතාවක්’ කියැවුණි. ඒ ‍බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කරමින් කොන්ත්‍රාත් පදනමට ඉදිකෙරෙන ‘මගී ආවරණ’ සම්බන්ධයෙනි. මෙම මගී ආවරණ රාත්‍රියේදී ‘හොරුන් විසින් ගලවාගෙන යාම’ සුලබ අත්දැකීමක් වී ඇති අතර ඉන්පසුව ඒවා නැවත සවිකිරීම වෙනුවෙන් මුලින්ම ඒවා ඉදි කළ අයවලුන්ටම නැවත වතාවක් අධිකාරිය විසින් ම ‘අලුත්වැඩියා කොන්ත්‍රාත් ලබා දෙමින්’ තිබේ. ‘කතාව’ නම්, මගී ආවරණ සවි කරන කොන්ත්‍රාත්කරුවන් ම, නැවත ඒවායේ කොටස් ගලවා නැවත ඉදිකිරීමට තවත් මුදලක් ගන්නා බවත්, මෙය අධිකාරිය දැනුවත්ව සිදුවන කටයුත්තක් වන බවත් ය. කෙසේවෙතත් ‘මේ කතාව සැබෑවක් නම්’, එතැනදී සිදුවන්නේ එකම බස්නැවතුමට රුපියල් ලක්ෂ තුනක් පමණ අධිකාරිය සතු මහජන මුදල් නිරපරාදේ වියපැහැදම් කිරීමකි. බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට, පළාත් සභාවෙන්, මහ ආණ්ඩුවෙන් පමණක් නොව, එහිම වැඩ කරන සේවකයින්ගෙන් පවා ‘බරපතළ’ චෝදනා එල්ලවෙමින් තිබෙද්දී, අධිකාරියේ සභාපතිවරයා නම්, මාසයකට වතාවක් කැලණිය පන්සල වන්දනා කර පින් සිද්ධ කරගනිමින් සිටින බව පෙනේ. කෙසේවෙතත් මාස්පතා පැවැත්වෙන ඒ පින්කමට මිනිසුන් ගෙන්වාගන්නේ කලින් ඔහු සභාපතිව සිටි බුලත්සිංහල ප්‍රදේශීය සභාවේ මැතිවරණ බලප්‍රදේශයෙනි. එපමණක් ද නොව, ඒ පින්කමට මිනිසුන් ගෙන්වාගැනීමට බස් අයිතිකරුවන්ගෙන් ‘නොමිලේ ම’ බස් ඉල්ලා ගනී. ඒ අනුව පසුගිය මාසයේ පැවැති ‘කැලණි වන්දනාවට’ කළුතර-කොළඹ 400/1 බස් මාර්ගයේ බස්රථ 8 ක් පමණ යොදා ගැනුණු අතර, එදින සිකුරාදාවක් වූ බැවින්, 400/1 බස් මාර්ගයේ ගමන් ගන්නා සාමාන්‍ය මගීන් දැඩි අපහසුතාවයකට ලක් වූ බව ද දැනගන්නට ලැබුණි. කැලණිය වන්දනාවට අමතරව සභාපතිතුමා විසින් පසුගියදා කැලණිය පන්සලට රුපියල් ලක්ෂයක පමණ ප්‍රදානයක් කර තිබුණු අතර බුලත්සිංහල පන්සලක පෙරහැරකට රුපියල් ලක්ෂ 5 ක් ද ලබා දී තිබුණි. කෙසේවෙතත් ඔහු එකී ප්‍රදාන දෙකේ ම ‘බරපැන’ දරා තිබුණේ, බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අරමුදලිනි. සභාපතිතුමාට පින් අතේ වැඩ කරන්නට බාධාවක් නැතත්, ඒ සඳහා අධිකාරියේ පොදු මුදල් භාවිතා කරන්නට අවසර නැත. එමෙන් ම මාස්පතා නොවේනම් දිනපතාම වුවත් එතුමාට කැලණිය වන්දනා කරන්නට බාධාවක් නැතත්, ඒ වෙනුවෙන් සෙනඟ ගෙන යාමට බස්රථ ගැනීමේදී පළාතේ බස් ගමනාගමනයෙන් සිය දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නා සාමාන්‍ය මගීන් අපහසුතාවට පත් විය යුතු නැත. ‘‘සභාපතිතුමාගෙ පව් වැඩයි, පින් වැඩයි ඔක්කොටම වියදම් කරන්නෙ අධිකාරියෙ මුදල්. මේව ගැන ඉදිරිපත් වෙලා තියෙන පැමිණිලි සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ ගණනාවකුත් තියෙනවා. ඒත් එතුමා මේ තනතුරේ ඉන්නතාක්කල් ඒව ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් වෙන්නෙ නෑ. පළාත් සභාව ඇතුළෙත් මේ ගැන වරින් වර කතා වුණා. ඒ විතරක් නෙවෙයි, මේ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකල් තනතුරින් ඉවත්වෙලා ඉන්න කියලා මහ ඇමැතිතුමා පවා කියලා තියනවා. ඒ වුණාට අපේ සභාපතිතුමා ගෙවල යකා වගේ මේකටම වැදිලා ඉන්නවා...’’ යනුවෙන් පවසන්නේ බස්නාහිර පළාතේ වැඩ කරන ‘ස්ථාන පාලකවරයෙකි’. - සුරේඛා සමරසේන
 

More News..