brand logo

නීති විරෝධීව නිපදවූ කෘතිම රා ලීටර් 54,550 ක් අඩංගු බැරල් 273 ක් අත්අඩංගුවට

12 May 2019

නීති විරෝධී ලෙස නිපදවන ලද කෘතිම රා ලීටර් 54,550 ක් අඩංගු බැරල් 273 ක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත. පසුගිය 11 වැනිදා මහවැව,වලහාපිටිය සහ මුට්ටිබැදිවෙල යන ප්‍රදේශ වලදී මෙම වැටලීම් සිදු කර ඇත. මහ රා නිෂ්පාදනය කිරීමට සහ එකතු කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන කෘතිම රා නිෂ්පාදනය කිරීම සිදු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි. නීත්‍යාණුකූල බලපත්‍රයක් සන්තකයේ තබා ගෙන කෘතිම රා නිෂ්පාදනය කිරීමට එරෙහිව බලපත්‍ර ලාභීන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය කටයුතු සිදු කරන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. පුත්තලම දිස්ත්‍රික්කය තුළ මහ රා නිෂ්පාදනය බහුලව සිදු වන බවත්,ඒ අතරින් ඇතමුන් නීති විරෝධී ලෙස මහ රා නිෂ්පාදනය කරන බවට සහ බලපත්‍ර ලබා ගෙන කෘතිම රා නිෂ්පාදනය කරන බවට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම් සිදු කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්.බී.වන්සූරිය සහ කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදු කර ඇත. ජුඩ් සමන්ත
 

More News..