brand logo

නීති විරෝධීව ගෙන්වූ මද්‍යසාර වතුර වෙලා

02 October 2020

  තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට ආනයනය කරන ලද කන්ටේනරයක තිබූ මද්‍යසාර ලීටර් එකොළොස් දහස් දෙසිය පනස් හතක් වෙනුවට රේගුව නොමග යැවීම සඳහා පානීය ජල බෝතල් ගබඩා කර ඇති බව ඊයේ (1 වැනිදා) අනාවරණය විය. මාලදිවයිනට ප්‍රතිඅපනයනය කිරීම සඳහා සූදානම් කර තිබියදී රේගු භාරයට ගත් මෙම කන්ටේනරය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි තිබූ මද්‍යසාර තීරුබදු නොගෙවා වෙළෙඳ පොළට නිදහස් කර ඇති බවයි. මෙම කන්ටේනරය තීරු ගාස්තුවලින් තොරව ආනයනය කර ඇත්තේ 2018 වසරේදීය. එය අදාළ පාර්ශ්වයන්ට නිදහස් කිරීමේදී තීරු බදු ගෙවීමේ පදනම මත ලබාදීමට හෝ 2019 වසරේදී යළි ප්‍රතිඅපනයනය කිරීම සඳහා සීදුව ප්‍රදේශයේ රේගු ගුදමක තැන්පත් කර තිබී ඇත. මෙම කන්ටේනරය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ට රේගුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, ඔවුන් දිගින් දිගටම රේගුව මගහැර ඇති බව වාර්තා වේ. අනතුරුව රේගුව විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දැනුවත් කර අදාළ පාර්ශ්වයන් පෙරේදා (30 වැනිදා) රේගුවට කැඳවා පරීක්ෂණ කටයුතු කරනු ලැබීය. මෙහිදී අඩි 40 ක් දිග කන්ටේනරය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි මද්‍යසාර ​බෝතල් නොමැති බවත්, කන්ටේනරය තුළ පානීය ජලය අඩංගු ලීටරයේ බෝතල් 15 බැගින් වූ පෙට්ටි එක්දහස් එකසිය හැත්තෑ නවයක් සහ දැනට හඳුනා නොගත් දියරයක් සහිත ලීටර් 200 බැරල් 20 ක් එහි ගබඩා කර ඇති බවයි. අදාළ කන්ටේනරයේ තිබූ මද්‍යසාර වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට රේගුව සැක කරන අතර, මේ නිසා රජයට අහිමි වී තිබෙන තීරු බදු ආදායම රුපියල් මිලියන 40 ක් බව රේගුව පැවැසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..