brand logo

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

07 January 2019

පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්. ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. පාසල් විෂය නිර්දේශය සදහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළේ පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් වන බවයි. නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකීවීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබදව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සදහා මුහුණදීමට දරුවන්ට අත්වැළක් වන බවත් අමාත්‍යවරිය සදහන් කරයි. මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධි විධාන සංග්‍රහය වැනි කරුණු පිළිබදව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වන බව ද අමාත්‍යවරිය සදහන් කළාය. සිදු කරනු ලබන වැරදි සදහා පවතින දඩුවම් ඒවායේ බරපතල කම වැනි කරුණු පිළිබදව නොදැනීම නිසා ජනතාව විශාල වශයෙන් අපරාධ සිදු කරන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මගින් ඉදිරියේදී රට තුළ අපරාධ වැරදි ක්‍රියා අවම කර ගත හැකි බවත් අමාත්‍යවරිය සදහන් කරයි. නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබේ.
 

More News..