brand logo

නීතිපති CIDයට දොස් නගයි

13 October 2020

අසම්පූර්ණ විමර්ශන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාජ් බදියුදීන් නිදහස් කිරීමට කළ නිර්දේශය යුක්ති සහගත නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (12 වැනිදා) ප්‍රකාශ කර තිබේ. නීතිපතිවරයා විසින් පෙරේදා (11 වැනිදා) කළ දැනුම්දීමට අනුව, නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන නිලධාරීන් හමුවේ නීතිපතිවරයා එලෙස ප්‍රකාශ කර තිබේ. මෙහිදී නීතිපතිවරයා විසින් ගත් තීරණ පිළිබඳව, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙසේ සඳහන් කළාය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් යන අය විසින් රියාජ් බදියුදීන් යන අයට ගත් දුරකථන ඇමතුම් 07ක් පදනම් කරගෙන 2020 අප්‍රේල් 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රියාජ් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග 02ක් 2020 අප්‍රේල් 17 සහ 2020 ජූලි 13 වැනි දින ලබාගෙන තිබෙනවා. එම රැඳවුම් නියෝග අද (13 වැනිදා) දින අවසන් වීමට නියමිතව තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 සැප්තැම්බර් 06 වැනි දින විමර්ශන අවසන් කර සැප්තැම්බර් 30 වැනිදා සැකකරු මුදාහැර තිබෙනවා. එලෙස විමර්ශන නවතා රියාජ් බදියුදීන් යන අය නිදහස් කිරීම සඳහා ගත් පියවර සාධාරණීකරණය කළ නොහැකි තීරණයක් බවටත් පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර නොමැති බව අනාවරණය වුණා. * රියාජ් බදියුදීන් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු නොකිරීම. * එනම් ඊට අදාළව රියාජ් බදියුදීන්ගේ වත්කම, බැරකම් වාහන ඇතුළු අනෙකුත් දේපළ, බැංකු ගිණුම් සහ බැංකු කටයුතු, ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශනයක් සිදු නොකිරීම. * මුදල් විශුද්ධිකරණය ගැන විමර්ශනය කිරීමට දැනුමක් කිසිම වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කර ඇති බවත් අනාවරණය වුණා. * එසේම ත්‍රස්ත්‍රවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර නොමැති තත්ත්වයක් ද අනාවරණය වුණා. * රියාජ් බදියුදීන් යන අය භාවිත කරන ලද ජංගම දුරකථන 16ක් පිළිබඳව අනාවරණය වුවත් විමර්ශකයින් විසින් ජංගම දුරකථන 12ක් සොයා ගැනීමට අපොහොසත් වීම සහ එම ජංගම දුරකථන පිළිබඳව විමර්ශනයක් නිසි පරිදි සිදු කර නොතිබීම. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් යන අය විසින් රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සහ විමර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින් ඊ​ට අදාළ සාර්ථක විමර්ශනයක් කිරීමේ කටයුතු අඩපණ වී තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු විශේෂ පියවර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් දී තිබේ. එම අසම්පූර්ණ විමර්ශන ගොනු මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ඉෂාර රත්නකාර
 

More News..