brand logo

නීතිපති-පොලිස්පති ගැටුම දුරදිග යයි

13 February 2020

අධිකරණය ඉදිරියේ පැවැත්වෙන කිසිදු නඩු කටයුත්තක් නතර කිරීමට තමාට කිසිදු බලයක් නොමැති බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් නීතිපති දප්පුල ද ලිවේරා වැඩිදුරටත් පවසා ඇත්තේ විධායකයටද එවැනි නියෝග නිකුත් කිරීමේ බලයක් නොමැති බවයි. වැඩබලන පොලිස්පතිවරයා විසින් 2020 පෙබරවාරි මස 2 වැනිදා නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ ‘රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව පවත්වාගෙන යනු ලබන හා අවසන් කරන ලද සියලුම විමර්ශන ගොනු මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ විශේෂ විමර්ශන ඒකකය (SIU) සිදුකරනු ලැබූ සහ දැනටමත් සිදුකරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් අදාළ එක් එක් ගොනුව පිළිබඳව කරුණු අධ්‍යයනය කරන ලද බවයි. එම විමර්ශන සම්බන්ධ ගොනු අදාළ විශේෂ කමිටුව වෙත භාරදීමට ප්‍රථම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවට විමර්ශන සිදුකළ පොලිස් ඒකකය වෙත වෙත තමා දැනුම් දුන් බවද වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබේ. අදාළ විමර්ශනවලදී වැඩ තහනමට ලක්ව ඇති හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක (සේවය හැරගිය) නිශාන්ත ද සිල්වා සිදුකළ විමර්ශන පක්ෂග්‍රාහීව සිදුකර ඇති බව කරුණු අනාවරණය වී ඇතැයිද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත. එවැනි පක්ෂග්‍රාහී ක්‍රියා හේතුවෙන් වින්දිත පාර්ශ්ව හෝ චූදිත පාර්ශ්ව අගතියට පත්වීම වැළැක්විය නොහැකි බවද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය සලකා බලා අගතියදායක ලෙස සිදුව ඇතැයි පෙනෙන නඩු තාවකාලිකව වසා දමන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට යෝජනා කර ඇත. මෙම ලිපියට පිළිතුරු ලබාදෙමින් නීතිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක් නතර කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට තමාට බලයක් නොමැති බවයි. එසේම විමර්ශන කොමිෂන් සභා යටතේ (2018 අංක 16 යටතේ සංශෝධිත) එවැනි නියෝගයක් නීතිපතිවරයා වෙත නිකුත් කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බවද නීතිපතිවරයා පෙන්වා දී ඇත.   නයන තරංග ගමගේ උදයජීව ඒකනායක
 

More News..