brand logo

නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සමට හේමසිරි සහ පූජිත් ලිඛිත විරෝධතා ඉදිරිපත් කරති

02 September 2019

පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කීපයක එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම මගින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් ඇප නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සමට කොළඹ මහාධිකරණය හමුවේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ලිඛිත විරෝධතා ගොනු කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලද ප්‍රතිශෝධන පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ලිඛිත විරෝධතා ගොනු කරන ලදී. එම ලිඛිත විරෝධතා භාරගැනීමෙන් අනතුරුව එම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගය සැප්තැම්බර් මස 6 වනදා පවත්වන බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට නොසැලකිලිමත් ලෙස ‍ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හැරීමේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගෙන නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් එම නියෝගය සිදුකර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම මගින් අවධාරණය කර තිබේ. මෙම ඇප නියෝගය මගින් නීතිය බරපතල ලෙස අපගමනය වීමක් සිදුවන හෙයින් එය ප්‍රතිශෝධනය කර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..