brand logo

නීතිපතිත් පොලිසියට දෙහි කපයි

06 July 2020

නීතියට සහ අපරාධ කිරීමට බය වෙන්න’ යැයි නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැති දේශනයකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අමතමින් අවවාදාත්මකව ප්‍රකාශ කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර අධ්‍යක්ෂවරයාගේ ආරාධනයකට අනුව එම දේශනය නීතිපතිවරයා විසින් ඉකුත් 3 වැනිදා පෙරවරුවේ පවත්වනු ලැබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව විවේචන එල්ල කරමින් නීතිපතිවරයා සිය දේශනය කළේය. ‘මේ නිලධාරීන් ගැන මුළු රටම දන්නවා. ඔබට දූෂිත නිලධාරීන් සමග වැඩ කළ නොහැක. ඔබ අතර දූෂිතයන් කවුරුන් දැයි ඔබම දන්නවා. ඔවුන් පිළිබඳ තොරතුරු අපට ලබාදෙන්න. දූෂිතයන් ඉවත් කර මෙම ආයතනය පිරිසුදු කරමු’ යනුවෙන් නීතිපතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා සිය දේශනය සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද එහි සිටියේය. නමුත් නීතිපතිවරයා සිය දේශනය ආරම්භ කිරීමත් සමගම වැඩබලන පොලිස්පතිවරයා එම ස්ථානයෙන් පිටව ගියේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එහි කනිෂ්ඨ නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය කළේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග වැඩ කරන නිලධාරීන් හඳුනා ගැනීමටත්, එය වළක්වා ගැනීමටත් හැකිව තිබූ බව නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සිය දේශනය පවත්වමින් මෙසේද ප්‍රකාශ කළේය. ‘තමුන්නාන්සේලා මුදල් හොයන්න ඕනෑ නම් කරුණාකරලා එළියට බැහැලා බිස්නස් එකක් කරන්න. මේ යුනිෆෝම් එකෙන් ඕවා කරන්න එපා. මේ රජයේ ආයතන තමන්නාන්සේලා නැති කරන්න එපා. ‌මේ ඇති කරන්න ඕනෑ. වර්ධනය කරන්න ඕනෑ. අපිට වගකීමක් තිබෙනවා දුප්පත් ජනතාව ගැන. හරි පරිපාලනයක් තිබුණා නම් මේක වෙන්නේ නැහැ. හරි අධීක්ෂණයක් තිබුණා නම් මේවා වෙන්නේ නැහැ. මෙතන විනයක් නැහැ. විනයක් නැති තැන හරියාකාරව රාජකාරී කරන්න බැහැ. ඉස්සෙල්ලා තමුන්නාන්සේලා අතර විනයක් ඇති කර ගන්න. ඒ විනය අවශ්‍යයි. කනිෂ්ඨ අයට තමුන්නාන්සේලා ආදර්ශයක් දිය යුතුයි. අපරාධ කරලා හැමදාම ගැලවෙන්න බෑ. අහුවෙනවා. නීතියේ රැහැනට අහුවෙනවා. නීතියේ රැහැනට අහුවුණේ නැත්නම් ‘දිට්ඨ ධම්මවේදය’ එතකොට කොහෙන් ගියත් තමුන්නාන්සේලාට දඬුවම් ලැබෙනවා. ඊළඟට ජීවන රටාව පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි. මේකේ ඉන්නවා නම් අවදියෙන් ඉන්න ඕන. මෙතන ජාවාරම් කරනවා නම්, අනෙක් කටයුතු කරනවා නම් ඒවා කරන්නේ නිකං නෙවෙයිනේ. මුදල්වලටනේ. එතකොට මුදල් ලැබුණහම මේ අය වියදම් කරනවා. නිකං ඉන්නේ නැහැනේ. වියදම් කරන විට වත්කම් පිළිබඳ ලොකු ප්‍රශ්න මතු වෙනවා. තමුන්නාන්සේලා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනිෂ්ඨ නිලධාරීන්ගේ ජීවන රටාව ගැන සැලකිලිමත් විය යුතුයි. මම මේ දේශනය ඉදිරිපත් කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ ආරාධනය අනුවයි. කෙසේ වුවත් වර්තමාන තත්ත්වය අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 393 (2) වගන්තිය ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ආරාධනයකින් ​තොරව වුවද මෙලෙස දේශනයක් පැවැත්වීමට මා හට බලය තිබෙනවා’ යැයි නීතිපතිවරයා සිය දේශනය නිමා කරමින් සඳහන් කළේය. මෙම අවස්ථාවට අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ. හරි පරිපාලනයක් තිබුණා නම් මේක වෙන්නේ නැහැ. හරි අධීක්ෂණයක් තිබුණා නම් මේවා වෙන්නේ නැහැ. මෙතන විනයක් නැහැ. විනයක් නැති තැන හරියාකාරව රාජකාරී කරන්න බැහැ.
 

More News..