brand logo

නීතිපතිගේ කරුණු දැක්වීම තෙක් හිරුණිකාට එරෙහි නඩුව කල්යයි

03 December 2019

කොළඹ ,දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව වරද පිළි ගැනීමකින් තොරව අවසන් කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊයේ (03) අවසන් වශයෙන් ලබන මැයි මස 04 වනදා තෙක් දින ලබා දෙන ලදී. මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වරද පිළිගැනීමට විත්තිකාරිය සූදානම් නොමැති බව අධිකරණය හමුවේ දන්වා සිටියේය. "ස්වාමීනි, මෙම නඩුවේ විත්තිකාරිය වරද පිළිගැනීමට සූදානම් නැහැ. ඇය මෙම චෝදනාවට ලක්ව තිබෙන්නේ කිසියම් පවුලක සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට යාම නිසා. මෙම නඩුව වරද පිළිගැනීමකින් තොරව හෝ දඬුවම් නියම කිරීමකින් තොරව අවසන් කර ගැනීමට ඇය අපේක්ෂා කරනවා. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306(2) වන වගන්ති යටතේ ප්‍රතිපාදන සැලසී තිබෙනවා."යනුවෙන් සඳහන් කර සිටි විත්තියේ නීතිඥවරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත ලිඛිත කරුණු සැල කිරීම සිදු කිරීමට තම සේවාදායකයිකාව තීරණය කර ඇති බවත් ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනාවලට වරද පිළිගැනීමට හෝ නිවරදිකරු යැයි කීමට විත්තිකාරියට පූර්ණ හිමිකමක් පවතින බව සඳහන් කළේය. එම නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට අදහස් කරන්නේ නම් ඊට ද ඇයට හැකියාව පවතින බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන ඔවුන්ට දඬුවම් නියම කර ඇති බව ද විනිසුරුවරයාට පෙන්වා දුන්නේය. මෙහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන අමිල ප්‍රියන්ත නැමැති තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙය පවුල් ආරවුලක් විසඳීමට යාම තුළින් ඇති වූ අපරාධයක් නොවන බව සඳහන් කර සිටියේය. විත්තිකාරිය විසින් සිදුකර තිබෙන්නේ අපරාධමය වරදක් බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගනු ලබන ස්ථාවරයෙන් අනතුරුව තම කරුණු සැලකිරීමෙන් ඉදිරියේදී සිදුකරන බව අදාළ තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම සඳහා විත්තිකාරියට අවසන් වශයෙන් දිනයක් ලබා දෙන බව දැනුම් දුන්නේය. ඒ අනුව නඩුව නැවත මැයි මස 4 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය. 2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් නව දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. ඉන් විත්තිකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට විනිසුරුවරයා විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබුණි. (අධිකරණ වාර්තාකරු )
 

More News..