brand logo

නිළියක් නැති චිත්‍රපටයක්

21 March 2021

‘මාරියා’ පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක්. සිනමාවට ආදරය කරන බොහෝ දෙනා මොකක් ද මේ මාරියා කියන්නේ? කවුද මේ සිනමා නිර්මාණය කරන්නේ? එතකොට කවුද මාරියා බවට පත්වෙන්නේ? මෙවැනි බොහෝ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගත්තා. මේ නවමු සිනමා අත්දැකීම ලාංකීය හෙළවුඩයට අරගෙන එන්නේ සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන. අරුණ ජයවර්ධන අපිට සිනමාවේ මුලින්ම හමුවන්නේ නිකිණි වැස්ස සිනමාපටය තුළින්. සිය පළමු සිනමා නිර්මාණය තුළින්ම සම්මානිත වන්නට භාග්‍ය වූ ඔහු ඉන් පසුවත් සිනමා නිර්මාණ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් අපිට සමීප වුණා.. මොකක්ද මේ ඔබ පෙරළියක් කරමින් සිනමා කරළියට අරන් ආ ‘මාරියා’ මීට අවුරුදු දෙකකට විතර කලින් ප්‍රවෘත්ති බලද්දී ගිය එක පුවතක් තමයි ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබුණු කාන්තා බෝනික්කෙක් හමුවූ පුවත. ඒ අය දෙවඟනක් බෝට්ටුවට ආවා කියලා හිතලා ඒ බෝනික්කා බෝට්ටුවට ගෙන ඇඳුම් අන්දලා පුද පූජා පවත්වලා ගොඩබිමට අරගෙන ඇවිත් තියෙනවා. මේ පුවත තදින්ම මගේ හිතට වැදුණා. ඒ නිසා එය වස්තු විෂය කරගෙන මගේ කතාවක් හදා ගත්තා. ඒ කතාව තමයි මාරියා. කාන්තා චරිතයක් නැති සිනමා නිර්මාණයක්ද මාරියා... කාන්තා චරිතයක් ඉන්නවා.... ඒත් නැහැ... මාරියාවක් ඉන්නවා. කුණාටුවක් එනවා. ඒ කුණාටුව ඇතුළේ යම් නිශ්චල චරිතයක් ඉන්නවා. ඒ නිසා තමා මේ සියලු ප්‍රශ්න පැනනගින්නේ. කවුද මාරියා. මාරියා නිසා ඇති වන ප්‍රශ්න මොනවද? ඒවා විසඳා ගන්නේ කොහොමද? ඒ සියල්ල දැනගන්න නම් ‘මාරියා’ බලන්නම වෙනවා. මෙහි චරිත ගැන අපි කතා කළොත්... මහේන්ද්‍ර පෙරේරා විලි කියන මේ බෝට්ටුවේ නායකයාගේ චරිතය. බෝට්ටුවේ ස්කිපර් තමා ඇන්තනී. ඒ චරිතය කරන්නේ හේමාල් රණසිංහ. අශාන් ඩයස් නිරූපණය කරන්නේ ඩයියාගේ චරිතය. ප්‍රියන්ත සිරිකුමාරගේ චරිතය බෙනට්. දර්ශන් ධර්මරාජ් තමයි ඔස්කා. එතකොට සුරන් දසනායක ටෙනී. ඔය හයදෙනා තමා ධීවරයන් වෙන්නේ. දසුන් පතිරණ ධීවර චරිතයක් නෙවෙයි. ඔහු කරන්නේ මාලන් කියන තරුණයාගේ චරිතය. ඔහුට අවශ්‍ය වෙන්නේ ඔස්ට්‍රේලියාවට යන්න. ඒ සඳහා තමා ඔහු බෝට්ටුවට එකතු වෙන්නේ. හැමෝම කතා වෙන්නේ ඔබ මේ සඳහා යොදාගෙන තියෙන නළුවන් ගැන, ලංකාවේ ඉන්න සුපිරිම එහෙම නැත්නම් ජනප්‍රියම කට්ටිය කියන එක... මෙහෙමයි, මෙහි ප්‍රවීණ, ජනප්‍රිය, සම්මානිත කියන විවිධ රාමුගත නළුවන් ඉන්නේ. හැබැයි මම ඒ අය යොදා ගන්නේ ඒ රාමුව නිසා නෙවෙයි. ඒ රාමුවෙන් පිට එකම රාමුවකට ඇවිත් මෙහි එන චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ට කරන්නට හැකි නළුවන් හත්දෙනෙක් විදියට. උදාහරණ විදිහට හේමාල් රණසිංහ කියන කෙනා අමතක වෙලා ඇන්තනී කියන චරිතය මතුවෙන්න ඕනේ. ඒ දේ ඔහුගෙන් ලැබෙනවා කියන උපරිම විශ්වාසය මට තියෙන නිසයි ඔහුව තෝරා ගන්නේ. එහෙම නැතිව ඔහු මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රියම නළුවා නිසා නෙවෙයි. මේ රූගත කිරීම දින 15ක් එක දිගටම මුහුද මැද බෝට්ටුවේ කරන්නේ. ඒ නිසා චරිත එහෙ මෙහෙ කරන්න බෑ, හරියටම ගැළපෙන නිසයි මේ දක්ෂයන් හත්දෙනා මේකට ගත්තේ. මේ මොහොතේ පවතින සමාජ කාරණා එක්ක. තව සිනමා නිර්මාණයක් කරනවා කියන එක අභියෝගයක් නෙවෙයිද? මම හිතන්නේ මෙහෙම. සිනමාශාලාවට මිනිස්සු එනවද නැද්ද? ඒක කොහොමද ජය ගන්නේ කියලා හිතලා. අපි නිර්මාණකරුවන් හැටියට මිනිස්සු ආයේ සිනමාශාලා වෙත එන කාලයක චිත්‍රපටයක් කරනවා කියන තැන හිටියොත් ඒක හරියන්නේ නැහැ. මිනිස්සු ආපහු සිනමාශාලාවට ගෙන්වන ක්‍රමවේදය අපි හොයන්න ඕනේ. මම මේ චිත්‍රපටයේ පළමු පෝස්ටර් එක එළිදැක්වීමත් එක්කම ලොකු කතාබහක් ඇති වුණා. හැමෝම හිතුවේ අපි මේ චිත්‍රපටය හදලා ඉවරයි පෙන්වන්න හදන්නේ කියලා. ඒ නිසා අපි අපේ පළමු අදියර ජයගෙන ඉවරයි. ‘1970 ලව්ස්ටෝරි’ චිත්‍රපටය එනකම් ගොඩක් අය බලන් හිටියා, ඇයි ඒ නිර්මාණය තවම ප්‍රමාද? නැහැ, එහෙම වෙන්නේ නැහැ. ගිය වසරේ වැඩ අවසන් කරන්න හිටියත් කොරෝනා නිසා බැරිව ගියා. මේ වෙද්දී බොහෝ දුරට වැඩ ඉවරයි. මේ අවුරුද්දේ කොහොම හරි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් වෙනස් වූ අලුත් අත්දැකීමක් වෙයි සිනමා ප්‍රේක්ෂකයාට. අනුෂා රණසිංහ
 

More News..