brand logo

නිශ්ශංක සේනාධිපති නොමැතිව සාක්ෂි මෙහෙයවන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

04 September 2019

පසුගිය පාලන සමයේ ගාලු වරාය ආශ්‍රිතව මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා නොමැතිව එම නඩුව පවත්වාගෙන යාම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ පළමු විත්තිකරු වූ දැනට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා මේ වනවිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන හෙයින් ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුවේ දෙවන විත්තිකරු වන නිශ්ශංක යාපා සේනාධිපති විදේශගතව සිටින හෙයින් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්ති යටතේ සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. ඒ අනුව නඩුව නැවත ලබන 17 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා එදින අදාළ සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය. පසුගිය රජය සමයේ ගාලූ වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ. එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබාගත් බවට විත්තිකාර විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ද මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත. අධිකරණ වාර්තාකරු
 

More News..