brand logo

නිවාස 15,000 කට සූර්ය පැනල වෙන්කළ ඩොලර් මිලියන 50 පුස්කයි

29 February 2020

සූර්ය බල සංග්‍රාමය යටතේ ග්‍රාමීය නිවාස 15,000 ක සූර්ය පැනල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ඇමරිකා ඩොලර් මිලියන 50 ක මුදලක් මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වෙයි.

2017 වර්ෂයේ මෙම මුදල අනුමත කර ඇත. නිවාස 15,000 කට අදාළව සූර්ය පැනල ඉදිකර ග්‍රාමීය ජන ජීවිතය නංවාලීම එහි අරමුණ වී ඇත. මෙම වැඩපිළිවෙළ පිළිබඳ ග්‍රාමීය වැසියන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු 80 ක්ද පවත්වා තිබේ. මෙගාවොට් 65 ක විදුලියක් ලබා ගැනීම මෙහි තවත් අරමුණකි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් අපෙහොසත් වී ඇති බව වාර්තා වෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ තවත් ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දීමටද ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත. සූරිය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අනුව ව්‍යාපෘති 700 ක් පමණ සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමය ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී ඇත. 2016 වර්ෂයේ සිට ලබා දී ඇති මෙම ව්‍යාපෘති මෙතෙක් ආරම්භ කර නොමැත. ව්‍යාපෘති වාර්තා භාර දීමේ අයැදුම්පත් සහ රාජකාරීමය කටයුතු සඳහා ව්‍යාපෘති අයෝජකයන් රුපියල් මිලියන 103 ක මුදලක්ද ගෙවා තිබේ.

මහා පරිමාණ සූර්ය බල ව්‍යාපෘති 49 ක් සහ කුඩා පරිමාණ ව්‍යාපෘති 617 ක් මෙලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇත.

උදයජීව ඒකනායක

 

More News..