brand logo

නිවාඩු මාස දෙකේ පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ගැන සංගම් දෙක මත දෙකක

01 June 2020

වත්මන් තත්ත්වය යටතේ පාසල් සිසුන් ප්‍රවාහන සේවා ගාස්තු අයකීරීම සම්න්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය හා සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය මත දෙකකට එළැඹ තිබේ. හැකියාව තිබියදීත් ගාස්තු නොදෙන දෙමව්පියන්ගේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදීමට සියලු සාමාජිකයන්ගේ එකඟත්වයෙන් තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා කීවේය. මේ අතර ඒ සඳහා නිශ්චිත මුදලක් නියම කිරීමට තම සංගමය කිසිදු තීරණයක් නොගත් බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න පැවසීය. ගෙවීමට හැකියාව ඇති දෙමව්පියන්ගෙන් අප්‍රේල් හා මැයි මාස වෙනුවෙන් ගාස්තුවෙන් භාගයක් අය කර ගැනීමට ගත් තීරණයට මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර ද විරුද්ධත්වයක් නොදැක්වූ බව ද මල්ශ්‍රී ද සිල්වා කීවේය. පාසල් වෑන් රථ හිමිකරුවන් මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි ද ඇතැම් හිමිකරුවන්ට රුපියල් පන්දහසේ දීමනාව හෝ නොලැබුණු බව ද හෙතෙම පැවසීය. කෙසේ වුව ද කමල් ඉලංගරත්න පවසන්නේ ප්‍රවාහනය කරන්නන්ගේ තත්ත්වය ද සලකා බලා හැකි මුදලක් ලබා දෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව ය. මේ අතර පාසල් නොපැවති මාස වෙනුවෙන් කුමනාකාරයේ හෝ ගාස්තුවක් අයකිරීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.   නිලන්ත මදුරාවල
 

More News..