brand logo

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ට විදෙස් ගමන් තහනම්

28 September 2020

  MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර ඇත. තවද විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන ලෙසත් පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කර ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකාර කපිතාන්වරයා අදාළ නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේ දී එය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවරයන් අනුගමනය කිරීම පැහැරහැර ඇති බවට චෝදනා කළේය. ගින්න ඇතිවූ අවස්ථාවේ දී එය නිවා දැමීමට කටයුතු නොකොට පළා යාම, එම අනතුර පිළිබඳව සංඥා වගකිවයුතු ආයතන වෙත නිකුත් නොකිරීම, තොරතුරු වසන් කිරීම යනාදී ක්‍රියාවන් කපිතාන්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා එම ක්‍රියාවන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 23, 25, 32 සහ 53 යන වගන්ති යටතේ අපරාධමය වරදක් බවද පෙන්වා දුනි. එම කපිතාන්වරයා ඇතුළු නාවිකයින් අනතුර මැඩලීමට ගතයුතු මූලික ක්‍රියා අනුගමනය නොකිරීම නිසා එම නෞකාවේ ගබඩා කර තිබූ ඉන්ධන මුහුදු ජලය වෙත කාන්දු වී ඇති බව දැනටමත් මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු විශේෂඥයින් දාහතර දෙනෙකු ගෙන් යුත් කමිටුවක් මගින් තහවුරු කර ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම ඉන්ධන කාන්දුව හේතුවෙන් අදාළ නෞකාව අනතුරට ලක් වූ ස්ථානයේ සිට නාවුක සැතපුම් දෙකක ප්‍රදේශයක් පුරා මිලිමීටර් දෙකක ඝනකමකින් යුත් තෙල් තට්ටුවක් මුහුදු ජලය මත ව්‍යාප්ත වී ඇතැයිද සඳහන් කර සිටියේය. මෙම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එවැනි නඩු පැවරීමක් සිදු කරන අවස්ථාවක ඔහු යළි අධිකරණය හමුවට ගෙන්වාගැනීම තහවුරු කිරීම සඳහා ඔහු රජයේ අධීක්ෂණය යටතේ රඳවා තැබීම අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට පෙන්වා දුනි. මේ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකාර කපිතන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුණ විමලසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල ඉල්ලා සිටින ආකාරයට එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව පෙන්වා දී ඇත.
 

More News..