brand logo

නිල්වලා ගගට පැන්න පොලිස් සැරයන්ව කිඹුලෙකු ඩැහැගෙන

02 July 2020

මාතර,බණ්ඩත්තර ,ජල පවිත්‍රාගාරය අසල නිල්වලා ගං ඉවුරේ විනෝදවෙමින් සිටි  පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසින් පවසති. මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොම්පඤ්ඤවිදිය පොලිසියේ සේවය කරනු ලබන අතුල වඩනම්බි නැමැති සැරයන්වරයෙකි. ඔහු නිවසට පැමිණි අවස්ථාවේ පසුගිය 1 වැනි  දින රාත්‍රී 10.00 ට පමණ තවත් මිතුරන් දෙදෙනෙකු සමග ගංඉවුරේ  විනෝදවෙමින් සිටි අවස්ථාවේ ඔහුගේ මිතුරාගේ ඔරලෝසුව ගඟට වැටී ඇති අතර එම අවස්ථාවේ මොහු ගඟට බැස ඇත. ගඟේ වැටී තිබූ ජංගම දුරකථනයේ  එළිය දැක එය රැගෙන මිතුරා ට බාරදී ගොඩට ඒමට උත්සාහ දරා ඇතත් දිය  පහරට අසුව ගඟට වැටී ඇත.පසුව පිහිනා ටික දුරක් පැමිණ එකවර තමා කිඹුලෙකු අල්ලාගෙන ඇති බව යහළුවන්ට කෑගසා කියා ඇත. ටික වේලාවකින්  මෙම පුද්ගලයා නොපෙනී ගිය බව සිද්ධිය ඇසින් දුටු එහි සිටි ඔහුගේ යහළුවෙකු වන කේ.පී.ගැමුණු මහතා පැවසීය. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන  මෙම පොලිස් සැරයන්වරයා මෙම වසරේ විශ්‍රාමයාමට අදාළ ලේඛණ සකස්කර  ගෙන සිටි බව පවුලේ අය පැවසූහ. සිද්ධිය පසුව ගම්වාසීන් ,නාවික හමුදාව හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ද පැමිණ මෙහෙයුමක් දියත් කළ ද ඔහු ගේ සිරුර සොයා ගැනීමට  මෙතෙක් හැකියාවක් ලැබී නැත. තිහගොඩ පොලිස් ස්ථානාධිපති අමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත. මහින්ද තැළිකෝරාලගේ
 

More News..