brand logo

නිලංක ඇතුලේ කූරා ජීවත් වෙනවා

09 June 2020

තණමල් විල කොල්ලෙක් මේ දිනවල අතිෂය කතා බහට ලක්වන සාර්ථක ටෙලි නිර්මාණයක්. තණමල්විල කොල්ලෙක් හි කාගෙත් ආදරය දිනූ කොළු රෑනක්ම වේ. ඒ කොළු රෑනේ “කූරා” ගේ චරිතයට පණ පොවන රංගනවේදී නිලංක දහනායක යෞවන සම්මාන උළෙල දෙකකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනු වේදිකාවේ පෙරළිකාරයෙක්. අද කූරා හෙවත් නිලංක පිණිපලසට ගොඩ වුණා. කූරාව ටෙලි නාට්‍යයෙන් දැන ගත්තත් නිලංක දහනායක ගැන බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකි නිසා අපි කූරාට කලින් නිලංක ගැන කතා කළා. “මගේ ගම වේරහැර. කොළඹම තමයි ගම. අම්මා කොළඹ. තාත්තා මාතර අකුරැස්සේ. මට ඉන්නවා අක්කයි, අයියයි. පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය පාස් වෙලා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ගියා. පාසලේදිත් නාට්‍ය වැඩවල හිටියා. උසස් පෙළින් පස්සේ අපි වීදී නාට්‍ය කළා. පස්සෙ රන්වල පදනමටත් සම්බන්ධ වෙලා හිටියා. යාළුවෝ එක්ක කෙටි නාට්‍ය කළා. ආ සරුංගලේ කියලා ළමා නාට්‍යයකුත් කළා. ඔහොම අද්දැකීම් ගොඩක් ලබමින් ඉද්දි 2007 සුරංග බැමිණියවත්තගෙ ‘මම ගැහැනියක් නෙවෙයි’ කෙටි නාට්‍ය කළ ජ’පුර වේදිකාවෙන් ‘මහ පොළොවට වෙනුවෙන්’. ඒකෙන් කුසලතා සහතිකයක් මට ලැබුණා.” 2009 වසරේ නිලංක මුල්ම සම්මානය දිනනවා? “ඔව්. අපේ හර්ෂ තෙන්නකෝන්ගෙ අත්තානං කෙටි නාට්‍යයේදී මට යෞවන සම්මාන උළෙලෙ හොඳම නළුවා ලෙස සම්මානය ලැබෙනවා. ඒ නාට්‍ය පිටපතත් මගේ. නිලංක සෝමලතා සුබසිංහ නාට්‍ය ඇකඩමියේත් කටයුතු කළා? “සොමලතා මිස්ගෙ ප්ලේ හවුස් එකට මම සම්බන්ධ වුණා. කෞශල්‍යා ප්‍රනාන්දුගෙ ‘දුටු තැන අල්ලනු’ නාට්‍යයෙත් මම රඟපෑවා. නාමල් ජයසිංහ හා සුසන්ත මහගමගෙ අධ්‍යක්ෂණය කළ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍ය ඇතුළු නාට්‍ය ගණනාවක හිටියා. 2015 චාමර ගුරුගෙ ගේ ‘වට්ස් අ නයිස් කපල්‘ නාට්‍ය රඟපෑම වෙනුවෙන් යෞවන සම්මානය, හොඳම නළුවා සම්මානය ලැබුණා. ඒ නාට්‍යයෙම චරිත දෙකයි. මමයි, ශ්‍යමිලා කල්හාරියි ඇට් කළේ” ෆිල්ම් එකකත් නිලංකව දකින්න ලැබුණා. “ඔව්නේ සංජීව පුෂ්පකුමාරගෙ ඉගිළෙන මාළුවෝ ෆිල්ම් එකෙ රඟපාන්න අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ? “ඒක මෙහෙමයි. 2009 ආනන්ද අබේනායක මහත්තයගෙ ‘අහසින් වැටුනා’ ටෙලිනාට්‍යයෙ බීච් බෝයි කෙනෙක්ගෙ චරිතයෙන් පටන් ගත්තේ. ඊට පස්සෙ පෝය ටෙලි නාට්‍යවල, දේව දරුවෝ ටෙලිනාට්‍යයේ, අප්පච්චි ටෙලි නාට්‍ය ඇතුළු නාට්‍යවල රඟපෑවා.” තණමල්විල කූරා වෙන්නෙ කොහොමද? “තණමල්විල කොල්ලෙක් නාට්‍ය අධ්‍යක්ෂ රෝෂාන් රවින්ද්‍ර අවුරුදු ගාණකට කලින් මේ වැඩේ ගැන මට කියලා තිබ්බා. පස්සෙ අවුරුදු දෙකකට විතර කලින් 2018 මේ ටෙලි නාට්‍ය තුළ කූරාගෙ චරිතයට මට එන්න කිව්වා. රෝෂාන් කලින්ම පිටපත එව්වා. ඒක කියෙව්වම මේක මාර වැඩක් වෙයි කියලා ආරම්භයේම දැනුනා. ඉතාම කැමැත්තෙන් මේ චරිතය බාරගෙන කළා.” කොහොමද ප්‍රතිචාර ? “ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම ඒක මෙහෙම වුණා නම් තව හොඳයි වගේ යෝජනාත් තියෙනවා. මම හිතනවා අපි ජීවත් වෙන සමාජය ඇතුළේ තණමල්විල කොල්ලෝ වගේ කොල්ලෝ කූරා, පතෝලයා, කිතුලා, ජගා, දීප්ත ලොක්කයියලා අක්කලා, සුලෝලා තවම ඉන්නවා. මේ කොළඹත් ඉස්කෝලවලත් ගම්වලත් වෙනත් නම්වලින් වෙනත් භාවිතාවන් එක්ක ඉන්නවා. කූරා හීන් අයියා වගේ චරිත ඕන තරම්. ඒ නිසා තමන් අභ්‍යන්තරේ හැංගිලා ඉන්න ඒ වේදනා දරන සුන්දර හිත් බලන අයගෙ යම් අවධිවීමක් වෙනවා ඇති. ඒ නිසා මේක වඩා සාර්ථක වුණා කියායි මගෙ විශ්වාසය. නිලංක දහනායක වන මා ළඟත් කූරා යම් පමණින් ඉන්නවා. මම රඟපාන අතරේම ඒ චරිතය විඳිනවා. පිටපත විසින් චරිත කදිමට උලුප්ප්පා තිබෙනවා. රෝෂාන් රවින්ද්‍රගේ අධ්‍යක්ෂණය එක්ක එක් වුණාම පිරිච්ච වැඩක් වී ඒක එළියට ආවා’’ කලක් රංගණයේ නිරත වුණාට ඔබ උසින් අඩු නිසා පෙම්වතාගෙ චරිතය නම් ලැබෙන එකක් නෑ නේද..? “අපොයි මට එහෙම එකක් හිතිලා නෑ. හැබැයි මම අඩි පහට වඩා උසයි. කොට කෙනෙක්ගෙ උස් ප්‍රේමයක් තියෙන්න පුළුවන් නේද..? කවද හරි මට එහෙම ප්‍රේමයක් රඟපාන්න ලැබෙන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනය පෙම්වතාගෙ චරිත ලැබෙන්න නෙවෙයි. හොඳ රංගණයක් ඉදිරිපත් කළ හැකි අභියෝගාත්මක චරිත කරන්න ලැබෙන්න කියන එක. අනිත් එක නළුවෙක් නම් සුදු වෙන්න ඕන. උස වෙන්න ඕන. සික්ස් පැක් ඕන වගේ සිතිවිල්ලක මම නෑ. එහෙම සිතිවිල්ලක් මට ආවනම් මම ලත් තැන ලොප්’’ රූගත කිරීම් ගැන මතක් කළොත්? “තණමල්විල පැත්තේම තමයි තණමල්විල කොල්ලෙක් රූගත කළේ මුල් දිනවල හෙවණට ගහක්වත් නැති තැන්වල අපේ මුළු කණ්ඩායමම වැඩ කළා. හැබැයි කවුරුවත් මැසිවිලි කිව්වෙ නෑ. හැමෝම නිර්මාණයේ හිටියේ. ටික දවසකින් අපට ඒ සියල්ල හුරු වුණා. දවසක් අපේ වාහන තණමල්විල යද්දි ඉස්සරහින් ගිය වාහනේ ආපසු හරවන් එනවා.. අලි එනවා කියලා.. අපිත් හරවගෙන වේගෙන් නගරයට ආවා. පස්සෙ හොයලා බලනකොට අලියෙක් දැකපු කෙනෙක් නෑ. ඔය වගෙ රස සිද්ධි වුණා. අනෙක අපේ නිෂ්පාදන කණ්ඩායම, නළු නිළි කණ්ඩායම මේ ඔක්කොම එක්ක ඉතින් රස දවස් ඒ රූගත කරපු කාලයම.” ජයන්ත සුබසිංහ
 

More News..