brand logo

නිරෝධායනය කළ චීන්නු යළි ලංකාවේ වැඩ

22 February 2020

'කොවිඩ් -19’ වෛරසය පිළිබඳ භීතිය හේතුවෙන් දින දාහතරක කාලයක් හුදෙකලා නිරෝධායනය කිරීමකට ලක්කරන ලද චීන ජාතික කම්කරුවන් පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයන්හි නැවත සේවයට වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාවේ චීන අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිනහි වැඩකටයුතු යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

නව වසර වෙනුවෙන් මව්රට බලාගොස් සිටි මෙරට ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතික කම්කරුවන් බහුතරයක් මේ මස පළමු සතියේ මෙරටට පැමිණියහ. එහෙත් කොවිඩ් - 19 අවදානම හේතුවෙන් අදාළ ව්‍යාපෘති භාර සමාගම් සිය කම්කරුවන්ට දින දාහතරක හුදෙකලා නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කර තිබිණි. විශේෂයෙන්ම කොළඹ වරාය නගරයනෙළුම් කුලුනපොළොන්නරුව විශේෂ වකුගඩු රෝහල සහ මොරගහකන්ද වේල්ල වැනි ව්‍යාපෘතිවල සේවය කළ චීන ජාතිකයන් මෙලෙස හුදෙකලා කිරීමකට ලක් කළ නිසා එම ව්‍යාපෘතිවල වැඩකටයුතුවලට බලපෑම් එල්ල විය.

මෙම කම්කරුවන්ගෙන් බහුතරයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් බැහැරව නිවාස කුලියට ගෙන හුදෙකලා කරන ලද අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා සමාගම් විසින් වෛද්‍යවරුන් යොදවා තිබිණි. සති දෙකක කාලය අවසානයේ ඔවුන් කිසිවකුත් වෛරසයේ ආසාධනයට ලක්ව නොමැති බව තහවුරු කිරීමෙන් අනතුරුව මෙලෙස ව්‍යාපෘති භාර සමාගම් විසින් ඔවුන්ව නැවත සේවයට කැඳවා තිබේ.

මේ වන විට වරාය නගරයේ පමණක් චීන ජාතික කම්කරුවන් අටසියයක් පමණ සේවයේ නියුතුව සිටිති.

සියරට ගිය චීන ජාතිකයෝ සීයක් පමණ කොවිඩ් -19’ වෛරසය හේතුවෙන් මෙතෙක් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම හේතුවෙන් නෙළුම් කුලුන මහජනයා වෙනුවෙන් විවෘත කිරීම තවත් මාස දෙකක් පමණ කල් යනු ඇතැයිද එම ව්‍යාපෘතිය භාර සමාගම ප්‍රකාශ කරයි.

නයන තරංග ගමගේ

 

More News..