brand logo

නිරෝධනය වන මහල් නිවාසවල ජනතාවට දැනුම්දීමක්

13 November 2020

කොළඹ මහනගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල ජීවත්වන ජනතාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සඳ සෙවන, මිණිජය සෙවන, රන්මිත් සෙවන, සත්හිරු සෙවන හා එන්. එච්. එස් මහල් නිවාසවල හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ අවධානයට යොමුකර ඇත. එම ජනතාව දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, කොලොස්ට්‍රරෝල්, වකුගඩු රෝග හෝ පිළිකා වැනි දිගු කාලීන රෝගවලින් පෙළෙන්නේ නම් ඔවුන්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවත් එහි සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ. ඒ අනුව රෝග සඳහා ඖෂධ ලබා ගන්නා රෝගීන් කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ එහි සංකූලතා වළක්වා ගැනීම සඳහා දිගටම එම ඖෂධ ලබාගත යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබේ. දීර්ඝ කාලින බෝ නොවන රෝගයකට ඖෂධ ලබාගන්නා බව එම මහල් නිවාසවල වෙසෙන ජනතාව එම මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දන්වයි. එහිදී නම, වයස, ලිපිනය සහ සාමාන්‍යයෙන් බෙහෙත් ලබාගන්නා බෙහෙත්ශාලාවේ හෝ රෝහලේ නම අදාළ නිලධාරියාට ලබාදිය යුතුය. එම ජනතාවට නිවසට වී සිටින ලෙසත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනැවිත් දීමට කටයුතු යොදා ඇතැයි ද සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත රුදාව, හුස්ම ගැනීමේ අපහසුව හෝ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක්ට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වහාම දුරකථනයෙන් දන්වන ලෙසත් වැඩිදුර විස්තර සඳහා 1999 උපකාරක දුරකථන අංකය ඇමතිය හැකි බවත් නිවේදනය කරයි.
 

More News..