brand logo

නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න යයි

15 September 2021

ඌරු මස් ඉල්ලා IPට ගහලා

නුවරඑළියේ පොලිස් බංගලාවකදී ඌරු මස් වෑංජනයක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක දී එම බංගලාව භාරකරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකුට පහරදුන් බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි අනාවරණය වනවා. නුවරඑළිය රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ‘එන්සොවිකා’ නිවස්නයේ භාරකරු ලෙස කටයුතු කරන ලද පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම නමැති අයට 2019 පෙබරවාරි 27 වැනි දින බැණ තර්ජනය කර පහරදී රාජකාරියට බාධා කරන ලදැයි කියන සිද්ධියකට අදාළව නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.එන්.කේ. දමයන්ත විජය ශ්‍රී නමැති අය අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත මෙලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. එවකට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ සහ පොලිස් සුභසාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි අවස්ථාවේදී අදාළ සිදුවීම වී ඇතැයි පැවසේ. තමාට සිදු වූ ඛේදනීය සිද්ධිය පිළිබඳව පොලිස් බංගලාව භාර පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම කරන ලද පැමිණිල්ලකට අනුව, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන), වත්මන් පොල්සිපති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝග පරිදි විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි. 2019 පෙබරවාරි 27 වැනි දින පොලිස් බංගලාවේ ලැගුම්ගෙන සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා, එදින රාත්‍රි ආහාරය සඳහා සකස් කිරීමට සවස් වරුවේ ඌරු මස් කිලෝවක් ලබා දී ඇති අතර, එයින් ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සකස් කර කෑම මේසයට ලබා දුන් අවස්ථාවේ දී එහි මස් අඩු බවට ප්‍රශ්න කරමින් මෙම නිලධාරියාට පහර දී ඇති බව පොලිසිය, නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කළ වාර්තාවල සඳහන් වෙයි.
 

More News..