brand logo

නියම විජයග්‍රහණයක් උපදින්නේ අභියෝග මතින්

07 August 2020

මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කිරීම අපගේ අධිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. 2020 මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි. පොදුජන එක්සත් පෙරමුණ මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එවැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට මාගේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ප්‍රණාමය පුද කරනවා මේ විශිෂ්ට ජයග්‍රහණය රට ලැබූ ජයග්‍රහණයක් බව මම කියන්න ඕනෑ. කෝවිඩ් -19 වසංගතය නිසා මුළු ලෝකයම අකර්මණ්‍ය වෙලා තිබෙන කාලයක තමයි අපි ජනතාව කෙරෙහි විශ්වාසය තබා මේ මැතිවරණය පවත්වන්න තීරණය කළේ. මේ රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවකටත් වඩා ඡන්ද පොළට ඇවිත් ඡන්දය ප්‍රකාශය කළා. කෙතරම් අසීරු තත්ත්වයකදී වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන්න ජනතාව ඉදිරිපත් වීම ගැන අපි රටක් හැටියට සතුටු වෙන්න ඕනෑ. ඒ වාගේම මෙබඳු වසංගත තත්ත්වයක් යටතේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් අරගෙන එය ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණ රටවල් ලෝකයේ තියෙන්නේ අතළොස්සයි. ලංකාව එබඳු තීරණයක් ගත්ත රටක්. ඡන්දය භාවිතා කිරීමට පැමිණි සියලුම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම, සෞඛ්‍ය සේවය වගේම ආරක්ෂක අංශවලට හා, රජයේ නිලධාරින්ට පුළුවන්කම ලැබුණා. අභියෝග මතින් තමයි නියම විජයග්‍රහණයක් උපදින්නේ. යුද්ධය ජය ගැනීම, කොවිඩ් -19 වසංගතය ජය ගැනීම වගේම මේ වගේ ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් අපි ලෝකයට පෙන්වා දෙන්නේ අපේ රටේ ශක්තිය හා ජනතාවගේ ශක්තිය. මෙම මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩනංවන ජයග්‍රහණයක්. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම මේ රට තුළ තහවුරු කරන්න පුළුවන් බව මේ මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පු වෙනවා. මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කරන්න අපි අධිෂ්ඨාන කරගන්නවා. මෙවර මැතිවරණයේ දී ඡන්දය දුන් සියලු ජනතාවටත්, මැතිවරණය සාර්ථකව හා සාමකාමීව පැවැත්වීමට සහය වූ මැතිවරණ කොමිෂන් සභාවටත්, ආරක්ෂක අංශවලටත්, රජයේ නිලධාරින් සියලුදෙනාටත්, සියලුම මාධ්‍යයන්ටත්, මැතිවරණ නිරීක්ෂකයින්ට සහ මුළු මහත් ජනතාවටත් මාගේ ස්තූතිය පිරිනමනවා.
 

More News..