brand logo

නිමේෂ්ගේ හදවතේ කතාව ලියන්න මියැසි ඇවිත්

10 February 2021

හදවතේ කතාවේ නිමේෂ් කියන චරිතය බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. තරුණියන් වැඩි වශයෙන් ආදරය කරන නිමේෂ් නළුවෙක් වෙන්නේ අහම්බෙන්. ඡායාරූප ශිල්පියා, හදවතේ කතාවේ නළුවා වුණ හැටි අපි අහලා බැලුවා... රංගනයට පැමිණෙන්න පෙර සිටම ඔබ තරුණියන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්... මම ගොඩක් තරුණ වයසේ ඉඳන්ම ඡායාරූපකරණය පටන්ගත්තා. ඊට පස්සේ කාලයක් Let me know.lk එකේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා විදිහටත් හිටියා. ඒ වගේම විවිධ විලාසිතා කරන්න මම කැමතියි. මම මගේ ඡායාරූප ගොඩක් සමාජ මාධ්‍යයන්වලට දැම්මා. ඒ ඡායාරූපකරණය නිසාත් විලාසිතා නිසාත්, විශේෂයෙන්ම මගේ පෙනුම නිසාත් තමයි ඒ ආකර්ෂණය රංගනයට එන්න පෙර සිටම මට ලැබු‍ණේ. දැන් ඒ තරුණියන්ගේ ආකර්ෂණය තවත් වැඩි වෙලා නේද? ඒක ලොකු වාසනාවක්. හැමෝටම නොලැබෙන දෙයක්. මේ ක්ෂේත්‍රයට එන්නත් ටිකක් අමාරුයිනේ. මට වඩා දක්ෂයොත් ඉන්නවනේ. නමුත් කීපදෙනාටයි කලාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. නමුත් අපි දැනගන්න ඕන අපිට ලැබුණු අවස්ථාව අපතේ නොයවා දිගු කල් පැවැත්මක් තියාගෙන නොවැටී කලාව තුළ රැඳිලා ඉන්න. මම ගොඩක් ප්‍රසිද්ධිය පස්සෙ යන කෙනෙක් නෙවෙයි. ඡායාරූපකරණයේ නියැළී සිටි ඔබ කොහොමද රංගනයට පැමිණෙන්නේ? මට කොහොමත් පොඩි කාලේ ඉඳලම ආසාව තිබුණා කලා ක්ෂේත්‍රයට එන්න. අඩුමගාණේ මාධ්‍ය ක්ෂේත්‍රයට හරි. මම මගේම පින්තූර අරන් ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් දැම්මා. ඊට පස්සේ තමයි මට ටික ටික විවිධ දේවල්වලට ආරාධනා ලැබුණේ. ශිරන්ත ප්‍රසාද් අයියා තමයි මට ‘හදවතේ කතාව’ට ආරාධනා කළේ. ඔබ වැඩියෙන් කැපී පෙනෙන චරිතයක්. විලාසිතා කරනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ? මම ගොඩක් බොලිවුඩ් විලාසිතා තමයි අනුගමනය කරන්නේ. නැතිනම් මමම මට ගැළපෙන විලාසිතාව කරනවා. පාට ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. ගොඩක් ලොකුවට විලාසිතාව ගැන හිතලම කරන්නෙ නෑ. නමුත් ඕනැම ඇඳුමක් ඇන්දම කරුමෙට හරි මට ඒ දේ ගැළපෙනවා. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? ජීවිතේ හොඳින් ගෙවෙනවා. මේ දවස්වල නම් ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවල රූගතකිරීම් එක්ක තමයි කාලේ ගෙවෙන්නේ. දැනුත් මේ වෙළෙඳ දැන්වීමක රූගතකිරීමකට ගාල්ලෙ ඇවිත් ඉන්නේ. පවුලේ විස්තර ටිකකුත් කියන්නකෝ? පවුලේ මමයි, අම්මයි විතරයි. තාත්තා දැන් ජීවතුන් අතර නෑ. පවුලේ එකම ළමයා හැටියට අම්මගේ හැම හීනයක්ම සැබෑ කළ යුතුයි. වෘත්තියට පසුගිය කාලයේ බලපෑමක් ඇතිවුණේ නැද්ද? වසංගතේ යම්කිසි බලපෑමක් කළා. ගොඩ දවසක් සියලුම වැඩ මග නැවතිලා ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. නමුත් ඒ කාලෙත් මම පොත් කියවලා, අලුත් අලුත් ෆිල්ම්ස් බලලා ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තා. අනාගතේ පෙළගැස්විලා තියෙන වැඩ කටයුතු මොනවද? වැඩ කිහිපයක්ම තියෙනවා ඉස්සරහට එන්න. තිර පිටපත් පවා ලැබිලා තියෙනවා. නමුත් ඒවත් මේ තත්ත්වය එක්ක කොහොම වෙයිද කියන්න බෑ. මෑතකාලීන මෙගා ටෙලිනාට්‍ය නළු නිළියන්ට එල්ලවන දෝෂාරෝපණ වැඩියි... ඒක සාපේක්ෂයි. අම්මෝ මටත් මිනිස්සු ඕන තරම් බණිනවා ඇති. නමුත් ප්‍රේක්ෂකයා බලන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙගා නාට්‍යයක් වුණත් ඕක පිටිපස්සේ හැම කෙනාම කණ්ඩායම්ගත වෙලා කරන්නේ ලොකු වැඩක්. එකම විදිහට තමයි මහන්සි වෙන්නේ. ඒක මෙගාද සම්භාව්‍යද කියලා වෙනසක් නෑ. මං කියන්නෙ නෑ මෙගා තමයි හොඳම කියලා. නමුත් මෙගා කියන දේත් තිබිය යුතුයි නේද? නමුත් ලංකාවේ වුණත් මෙගා නාට්‍ය කලාවෙන් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. කලාව තුළ බොහෝ දේවල් ඉතා ඉක්මනින් ලැබුණා නේද? මට ඕන වුණේ නම් ලේසියෙන්ම සම්බන්ධ වෙන්න තමයි. ඕන කෙනෙක් කැමැතිනේ තමන් කැමති වැඩේ ලේසියෙන්ම කරගන්න තියෙනවා නම්, නමුත් මේ අවුරුදු පහක විතර කාලයක ඉඳන් ටිකින් ටික හෙමීට ආපු ගමනක්. එකපාරට ලේසියෙන්ම හම්බුණා කියන්න බෑ. කොහොම නමුත් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක්නම් මෙච්චර ඉක්මනින් ලැබෙයි කියල නම් බලාපොරොත්තු වුණේම නෑ. ඒකනම් එකපාරටම තමයි ලැබුණේ. නමුත් මේ තැනට එන්න අවුරුදු ගාණක ඉඳන් කරපු කැපවීමක්, කාපු කට්ටක් තියෙනවා. චතුරංගගේ පෙම්වතිය ගැනත් කියමුද? ඇය මියැසි. ඇයත් මේ ක්ෂේත්‍රයේම තමයි. දෙන්නට දෙන්නා ඉතාම සහයෝගයෙන් ඉන්නවා. ඇගේ ගම නුවර. නම නම් කිව්වත් නැතත් දැනටමත් කට්ටිය දන්නවා ඇති ඒ කවුද කියලා. මොකද මම නිතරම ඇයත් එක්ක ඉන්න පින්තූර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. දැන් අපේ ප්‍රේම සම්බන්ධයට අවුරුදු දෙකක් විතර. ඇයව මට මුලින්ම මුණ ගැසුණේ ෆොටෝ ෂූට් එකකදි. එරංදි කෞශල්‍යා
 

More News..