brand logo

නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ - මංගල සමරවීර

16 March 2019

* ඔබේ දේශපාලන දිවියට වසර 30 ක් පිරුණු උත්සවයේදී ඔබ ‘මහානාමගේ කොලුවා’ නොවී ‘‘කේමාගෙ කොලුවා’’ විතරක් වුණේ ඇයි? හරි ලස්සන ප්‍රශ්නයක් එ්ක. මගේ පියා නැතිවෙනකොට මට වයස 09 යි. එතුමා මියගියින් වසර 23 කිනුයි මම දේශපාලනයට ආවේ. මම මාතර දේශපාලනයට බැස්සාම හුඟ දෙනෙක් කිව්වෙ ‘‘කේමා නෝනගෙ පුතා නැත්නම් කොලුවා’’ කියලයි. අම්ම එක්ක එන්න එතකොටයි අපි උදව්කරන්නෙ කියලත් සමහරු කිව්වා. අදටත් මාතර සමහරු මාව හඳුන්වන්නේ ‘මංගල’ කියලා නෙමෙයි, ‘‘කේමාගේ පුතා’’ කියලයි. මට ඒ ගැන ආඩම්බරයි. මේ කතා මගේ බොක්කටම වැදිලයි තිබුණේ. අනික පියා මියගිය පසු අපව ජීවත් කරවන්න මගේ මව තනියම ලොකු සටනක් කළා. ඒ නිසා මගේ උත්සවයට ‘‘කේමාගේ කොලුවා’’ කියලා විතරක් නම දැම්මට තාත්තා කොහේ හරි ඉඳන් ආශීර්වාද කරනවා විනා තරහ වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. පියා දාපු පදනමෙන් උඩට ආපු මට මනුස්සකම කියලා දුන්නේ අම්මායි. * මහින්ද 2015 දී වසර 02 කට පෙර ජනපතිවරණයට ගියේ ළඟ එන ආර්ථික පිපිරීම් හා ජාත්‍යන්තර හිරවීම්වලට කලින් ගොඩයාමට බව කියපු යහපාලන ආණ්ඩුව ආපු ගමන් මහා සහන මල්ලක් ජනතාවට දුන්නා. එය රටේ ආර්ථිකය තවත් අනාථ කළේ නැද්ද? ජනතාවට සහන නොදී රාජපක්ෂලා එදා හිරකරගෙන හිටියා. වෙනසින් පසු ජනතාව අපෙන් යමක් අපේක්ෂා කළා. රවි ඇමැතිතුමා එය ඉහළින් ඉටු කිරීම ගැන ප්‍රශංසා කළ යුතුයි. මහ මැතිවරණය ළඟ එන බව දැනගෙන හිටියත් අපි ඉලක්ක කළේ ඡන්දයට වඩා ජනතාවගේ අසරණකමට විසඳුමක් දෙන්නයි. ජනතාවට නිදහස හා ආර්ථික සහන දීල වෙන මොන ප්‍රශ්නයක් ආවත් කමක් නෑ කියන ස්ථාවරයේයි අපි හිටියේ. පඩි රු. 10,000 කින්, විශ්‍රාම, මහපොළ, සමෘද්ධි දෙගුණයකින් වැඩි කරලා ඉන්ධන ගෑස් බාගෙට බාගයක් අඩු කළා. සමහරුනට දැන් මේවා මතක නෑ පඩි 107% කින් වැඩි කළ එකම ආණ්ඩුව මෙයයි. * මහ ණය කන්දක් බාරගත් බව කියමින් ‘නත්තල් සීයා’ පාට් එක රඟන්න යාම අනතුරුදායක නැද්ද? ජනතාව වෙනුවෙන් ඕනෑම අනතුරකට අපි අතගහනවා. සහන දීලම රටක් දියුණු කරන්නත් බැහැ. 2015 දී අපි බාර ගන්නකොට මහා ණය කන්දකට රට යටවෙලා මිරිකිලා තිබුණෙ. ඒ ණය කන්දේ පළමු වාරිකය මම වෙලාවට, තිතට ගිය ජනවාරි 14 දා ඩොලර් දසලක්ෂ 1640 ක මහා වාරිකයක් ගෙව්වා. කිසිම ජනමාධ්‍යයක් ඒක අගය කළේ නෑ. තව ඩොලර් බිලියන 04 ක් මේ වසර අගදී ගෙවනවා. 2020-21 කියන්නේ රාජපක්ෂල ගත්ත ණය පොකුරු ගැහෙන වසරයි. අපි ඒකත් ගෙවනවා. එවැනි අභියෝගවලට බයේ රාජපක්ෂලා පැනලා ගියාට අපි මුහුණ දෙනවා. ඒ අතරේ ජනතාවට සහන දෙන්න ‘නත්තල් සීයාටත්’ අඳිනවා. මේ වසර 04 තරම් අසීරු මූල්‍ය පාලනයක් මේ රටේ තිබිල නෑ. අපි ඒක බැලන්ස් කරගත්තා. රට මේ අනාථ බවට දක්කපු එවුන් අද කැමරා ඉස්සරහ වැදිබණ දෙසනවා. 2015 දී මහින්ද ඡන්දෙට ගියේ සුමනදාස කියපු නිසා නෙවෙයි. මේවා බැලන්ස් කරගන්න එයාලට බැරි බව දන්න නිසයි. මේ ණය කන්දයි, ජිනීවාවල දී හිරවෙලා සම්බාධකයි වැටුණා නම් අද මේ රට තුළ පාන් කෑල්ලට මරාගන්නා හා පෙට්‍රල් ලීටරය රුපියල් 500 ත් පැනපු රටක් බවට පත්වෙන්න තිබුණා. * ඒත් ඔබ ජිනීවාවලදී තත්ත්වය බැලස් කරගන්නේ රට පාවා දීලා කියලා චෝදනාවක් තියෙනවා නේද? මගේ රට පාවලා දෙන්න මට පිස්සු නෑ. මම සියල්ල සූක්ෂ්මව බැලන්ස් කරගෙන ලෝකයෙන්ම කොන් වූ රට බේරා ගත්තා. 2014 වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වලා මේ රට දඬුකඳේ ගහන්න, ඒ වාර්තාව 2015 මාර්තුවලදී ජිනීවාවලදී සභාගත කරන්න තිබුණේ. අපි ඒක වළක්වා ගැනීම හොඳ නැද්ද? රටට ආර්ථික හා රාජපක්ෂ නඩයට පිටරට යන්න බැරි සංචාරක සම්බාධකත් එන්න තිබුණේ. ඔවුන් ටික බේරාගත්තෙත් අපියි. 2015 දී ගහල හරි ජනපතිවරණය දිනලා ජනතාව කෑම, ඉන්ධන, බෙහෙත් නැතිව පාරේ කැරලි ගහනකොට අද වෙනිසියුලාවේ වගේ දැඩි මර්දනය හා කෲර ඒකාධිපතීත්වයකට යන්නයි රාජපක්ෂවරු හිටියේ. අපි ජනතාවත් ඉන් බේරාගත්තා. මර්දනය කරනකොට ලෝකය එහෙම කරන්න එපා කිව්වම ‘‘උඹලා පැත්තකට වෙයල්ලා. ලංකාවේ ජනතාවයි අපි පත්කළේ’’ කියන බයිලාවයි ගහන්න හිටියේ. * ලංකාවේ අධික ණය බර නොගෙවා ‘පොල්ල’ තියන්න බැරිද? ණයවලට ‘‘පොලු’’ තිබ්බොත් රටටම පොලු ඒවි. ශක්තිමත් ග්‍රීසිය කඩා වැටුණෙත් ණය නොගෙවා පොලු තියපු නිසයි. අනාගත පරපුරට අපි නම් එවැනි අඳුරු යුගයක් උරුම කරලා දෙන්නෙ නෑ. * රටේ ආදායමෙන් 51% ක් ණය ගෙවීමට වෙන් කළ යුතු රටක ගම්පෙරළියට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පඩි හා විශ්‍රාම, සමෘද්ධි, මහාමාර්ග, දිළිඳු දීමනා ආදියට මුදල් කොහෙන්ද, බදු, දඩ හා යළිත් ණය ගන්නවාද? ඔබ කී සියලු දේවල්වල සංකලනයකින් තමයි මුදල් සොයන්න වෙන්නේ. මොකද අපිට තෙල්, රන් ආකර හෝ ‘මැජික් පොලු’ නෑ. මේ රටේ ආදායමෙන් 82% ක් වක්‍ර බදු, එනම් අහිංසක ජනතාව මිලදී ගන්නා එදිනෙදා භාණ්ඩවලට ගහපු බදුයි. දියුණුයි කියන ඇමෙරිකාවේ, ජපානෙත් බදු ගහනවා. අැමෙරිකාවේ බදු නොගෙව්වොත් ජීවිතාන්තය දක්වා හිරේ දානවා. ඒ රටවල් දියුණු එ්කයි. ලංකාවේ වක්‍ර බදු 82% ඉතා වැඩියි. බදු ෆයිල් එකක් ඇරලා ඍජු බදු ගෙවන්නේ ලංකාවේ 18% ක් විතරයි. ලක්ෂ 220 ක් ඉන්න රටේ ටැක්ස් ෆයිල් තියෙන්නේ ලක්ෂ 3 කටත් අඩුවෙනුයි. ඒ නිසා රටේ බර අද වැඩිපුරම දරන්නේ පාර අතුගාන මිනිහාගේ සිට සාමාන්‍ය ජනතාවයි. මම මේක ඉක්මනින් වෙනස් කරනවා. බදු ගෙවිය යුතු අය එය පැහැර හැරීම පාපයක්. මාසෙට මිලියන ගණන් හොයන බිස්නස් කරන අය, දොස්තරලා, නීතිඥයෝ බදු නොගෙවා හැංගෙනවා. ආණ්ඩුව යමක් කරන්න හැදුවාම ස්ට්‍රයික් කරනවා. අාසියාවේ අඩුම බදු තාම ලංකාවේ නිසා වැදූ මවට වගේම හැදුණු රටටත් සාධාරණය කරන්නැයි මම ඉහළ ආදායම්ලාභීන්ගෙන් ඉල්ලනවා. තොටිල්ලේ ඉඳලා මිනී වළට යනකම් සියල්ල නොමිලේ බලාපොරොත්තු වෙන රටක ආණ්ඩුවට විතරක් තනියම මේක කරන්න බැහැ. මොන්ටිසෝරියේ ඉඳලා සරසවිය දක්වා නොමිලයේ ඉගෙනගෙන ‘‘රැකියා දියව්’’ කියලා පාර වහලා රටේ ආර්ථිකය කන දරුවෝ ගැන මට පුදුමයි. රැකියාවක් හොයාගන්න හෝ නිර්මාණාත්මකව තමන්ම ගොඩනැගෙන්න මේ අයට ශක්තියක් නැතිවීම අභාග්‍යයක්. * දුගීම අයට විනා රටේ සියලු දෙනාට සමාජ සුබසාධනය දීම තුළ රට බංකොළොත් වෙනවා නම් ඉන් මිදීමේ ක්‍රම හොයන්න වෙහෙසෙන්නේ නැත්තේ ඇයි? ඔබ හරි. ඒත් ඕනම රටක ආණ්ඩුවේ සහාය ලැබිය යුතුම පිරිසක් ඉන්නවා. සමෘද්ධි දිළිඳු දීමනා දිය යුත්තේ ඒ අයට විතරයි. මම ණය දීම විනා සහන දීලා නැහැ කියලා සමහරු කියනවා. බිලී පිත්තක් මිසක් මාළුවෙක් දීලා බෑ. මාළුවා දුන්නම මාළුවා කාලා අපේ අය නිදා ගන්නවා. ඒකයි මාළු බාගෙන හැමදාම කන්න බිලීපිත්ත දෙන්නේ. අද අපේ ආණ්ඩුව බෙහෙත් 78 ක මිල අඩු කළා. හෘද රෝගීන්ට ‘ස්ටෙන්ස්’ එක ‘අක්ෂි කාචය’ පිළිකා අයට ජීවිතාන්තය දක්වා බෙහෙත් නොමිලේ දෙන තරමට මේ රජය වැඩ කළා. බදු නැතිව මේවා කරන්නේ කොහොමද? ඒ නිසා බදු ගෙවීමේ 82% - 18% වක්‍ර හා ඍජු බදු ගෙවීම 60% - 40% ට ක්‍රමයෙන් ඉක්මනින් වෙනස් කරනවා. ඒක අත්‍යවශ්‍ය වෙනසක්. මම ආර්ථික දර්ශනයක් අනුව වැඩ කරන කෙනෙක් නිසයි මේවා කියන්නෙ හා කරන්නෙ. නිදහස් ලිහිල් ආර්ථිකයක් රටට අවශ්‍යයි. එවිටයි අපට ලෝකයත් එක්ක තරග කරන්න ලැබෙන්නේ. * මේ අයවැය මූල්‍ය අරමුදලේ යෝජනාවල ‘කාබන් කොපියක්’ සේම ‘මැතිවරණ අයවැයක්’ ලෙසත් විපක්ෂය කරන විග්‍රහයට ඔබේ ප්‍රතිචාර මොනවද? එතැනින්ම පේනවා ඔය ගිරව් ටික අයි.එම්.එෆ් එකයි, ආර්ථිකයයි, දේශපාලනයයි ගැන දන්න තරම. අයි.එම්.එෆ්. එකට අනුව හැදුවා නම් මේ අයවැය මීටත් වඩා විනයානුකූල විය යුතුව තිබෙනවා. අයි.එම්.එෆ්. යනු ‘කළු යකෙක්’ කියලා වාමවාදීන් හඳුන්වනවා. ඒක අලි බොරු. අමාරුවෙ වැටුණු රටවල්වලට එයාලා යම් නිර්දේශ දෙන්නේ ඒ රටට ගොඩ එන්නයි. සුබසාධනයට, යටිතලවලට සල්ලි දානවට එයාලා විරුද්ධ නෑ. රුපියල බාල්දු කරන්නැයි එයාලා කියනවා කියන එකත් අලි පචයක්. ඩොලරයට සාපේක්ෂව ලොව හැම රටකම මුදල බාල්දු වුණා. 2018 මැද රුපියල බාල්දු වෙනකොට මහින්ද, දිනේෂ් හා මහාම මහාචාර්ය බන්ධුලතුමා කිව්වේ අපි ගත්තොත් මේක නවත්වනවා කියලා. ඔක්තෝබර් 26 අරන් ඒක කළාද? කියලා අපි අහනවා. 16% ක සීඝ්‍ර වේගයෙන් ඒ කාලේ රුපියල විනාශ කළේ ඔය වැදිබණ කී නඩයයි. ඒත් රට යළි භාරගෙන රුපියල ශක්තිමත් කරන හැටි අපි බන්ධුලට ‘ටියුෂන්’ දුන්නා. අයි. එම්. එෆ්. අය අපව යට කරන්න දඟලන්නෙත් නෑ. එයාලා දැඟලුවොත් අපි යටවෙන්නෙත් නෑ. * පාසල් හා සරසවි අධ්‍යාපනයට මෙවර දැඩි ප්‍රමුඛත්වයක් දුන්නේ සිසු උද්ඝෝෂණ නිසාද? උද්ඝෝෂණවලට ආණ්ඩු බය වෙන්නේ මොකටද? ඒත් මේ රටේ ලක්ෂ 03 ක් උසස් පෙළ කරලා ලක්ෂ 1 1/2 ක් පාස් වෙනවා. සරසවිවල ඉඩ තියෙන්නේ 30,000යි. ඒක සිසුන්ගේ වරද නෙවෙයි. ඒ නිසා ඉඩ නැති සිසුන්ට ඉහළ අධ්‍යාපනයක් ලබන්න ලක්ෂ 11 ක පොලී නැති ණයක් අපි දෙනවා. ඉහළ සුදුසුකම් ඇති ඒත් සරසවි යන්න බැරි වූ කී දෙනෙක් අද පාතාලේ ඉන්නවද, කුඩු ගහනවද, ත්‍රීවීල් පදිනවද? සරසවි ගිය දරුවොත් තේරුම් ගන්න ඕනෑ, යන්න බැරි වූ අය දුබල අය නොව ලකුණු 2-3 ක් මදි වූ අය පමණක්ය කියලා. හොඳට ඉගෙනගෙන රැකියාවක් කරනකොට, ගෙයක් හදන්නත් අපි ලක්ෂ 100 ක සාධාරණ නිවාස ණයකුත් දෙනවා. දරුවන්ට අනාගතයක් දෙන්නයි මම මගේ මොළෙන් මේවා කළේ. මොකද මම පොළොවේ පහ ගහලා ඉන්න රටේ හා දරුවන්ගේ ප්‍රශ්න හඳුනන කෙනෙක්. * ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණයගත් අයට සහනදීම හා එන්ටර්ප්‍රයිසස් ලංකා ණය දීම ඔබ ආර්ථික විද්‍යාව නොදන්නා නිසා කරන දෙයක් බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කළ ප්‍රකාශය බරපතළයි නේද? එයාට වඩා ආර්ථික විද්‍යාව දන්නා විද්වතුන් පිරිසක් ඔහුගේ නොදැනුවත්කමට හොඳ උත්තර දීලත් තිබුණා. කබ්රාල් කියන්නේ මෙතෙක් බිහි වූ දූෂිතම මහ බැංකු අධිපතියි. මම ඉතා වගකීමෙන් කියන්නේ. මේක කපන්න නම් එපා හරිද? එයා තමයි ගම්වල කාන්තාවෝ ඔය හොර ආයතනවලට බිලිදෙන්න ඔය ආයතන බිහි කළේ. ඒ අපරාධය මහ පවක්. ඒ නිසා කාන්තාවෝ 45,000 කගේ ණය රුපියල් ලක්ෂය දක්වා මම කපා හැරියේ මානුෂිකත්වය මතයි. කාන්තාවෝ 07 ක් දිවිනසා ගත්තා. ඔය ආයතනවල අයගෙන් ණය ගන්න ලිංගික අල්ලස් පවා දෙන්න වෙන තැන් තියෙනවා. එහෙම විනාශයක් කරපු කබ්රාල් දැන් බණ කියනවා. ඔය ආයතනවල මගඩි නවත්තන්න පනතකුත් මම ගේන නිසා ක්ෂුද්‍ර මූල්‍ය කප්පිත්තා කබ්රාල් බය වෙලා මට මඩ ගහන්න එනවා. එන්ටර්ප්‍රයිස් ලංකා අපේ අධීක්ෂණය යටතේ කරන්නේ ඇයි? රාජපක්ෂ කාලේ ඔය බැංකු ණය දුන්නෙ වටේ හිටපු අයට මිසක් සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ඒ හෙංචයියන්ට දුන්න ණය බොල් ණය ලෙස කපා හරින්න කබ්රාල් මහා සේවයක් කරලා රටට ද්‍රෝහී වෙච්ච කෙනෙක්. * මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නට මහ බැංකුව ඉඩදී අවුලක් ඇති වූ තැන කර ඇරීම සාධාරණද? මුදල් අමාත්‍යාංශ උපදේශක මනෝ තිත්තවැල්ල ප්‍රධානියෙක් ලෙස සිටි ඊ.ටී.අයි. එකත් වැටීම ගැටලුවක් බවත් මහ බැංකුවේ ඇතැම් නිලධාරින් දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්නවා කියන්නේ ඇත්තද? මහ බැංකුවටම දොස් කියලා බැහැ. කබ්රාල්ලා ෆිනෑන්ස් කොම්පැනිවලට ඉඩ දීල මිනිස්සු අමාරුවේ දැමීමේ ක්‍රමවේදය හැදුවේ රාජපක්ෂ යුගයේදීයි. කබ්රාල් තමයි මේකෙත් කප්පිත්තා. මේවට තද නීති ඕනෑ. ඊ.ටී.අයි. එකේත් රාජපක්ෂ යුගයේ තරම් ප්‍රශ්නය උග්‍ර නැහැ. එදා සෙලින්කෝ වගේ කඩා වැටෙන්න කලින් ස්වර්ණවාහිනී ජාලය අලුත් බයර් කෙනෙක් හොයලා භාර කළා. ඒ ගනුදෙනුව අවසන් කරගෙනයි යන්නේ. ගනුදෙනුකරුවන්ට 100% ක් මුදල් ලබාදීම අපේ ඉලක්කය හා ප්‍රාර්ථනාවයි. තිත්තවැල්ල මුදල් අමාත්‍යාංශයේ ඉඳන් මේ ප්‍රශ්නය යට ගහනවා කියන කතාව වැරදියි. එයා මේක දන්නෙත් නෑ. අපට බලපෑම් කරලත් නැහැ. ඊ.ටී.අයි. ප්‍රශ්නය වෙනකොටත් ඔහු අප ළඟට ඇවිත් හිටියේ. මේ ප්‍රශ්නය පිටිපස්සේ ඉන්නෙ එක්තරා ජනමාධ්‍ය ආයතනයක අයිතිකාරයෙක්. * වැසිකිළිවලට අයවැයෙන් මුදල් වෙන් කරලා හම්බන්තොට බහුතරයකට වැසිකිළි නෑ කියලා කීමෙන් යථාර්ථය මෙන්ම ඊට එහා ගිය ‘පොඩි මඩකුත්’ තියෙනවා නේද? කිසිම මඩක් මෙතන නෑ. නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ. රටේ පවුල් ලක්ෂ 03 කට ඒ පහසුකම නැති බව මට තේරුණේ සංඛ්‍යා ලේඛන අනුවයි. හම්බන්තොට පවුල් 15,000 කට එනම් 75,000 කට අධික පිරිසක් ශරීර කෘත්‍යය කරන්නෙ කැලේට විය යුතුයි. බුදු අම්මෝ මේ තරම් දියුණු කරපු හම්බන්තොටට වැසිකිළිත් නෑ, බොන්න වතුරත් නෑ. ඒත් ලොස්ඇන්ජලිස්වලත් නැති පාරවල් තියෙනවා. පැයකට වාහන 2-3 යි ඒවායේ යන්නේ. ලෝඩ්ස්වලටත් වඩා ලොකු ක්‍රිකට් පිටි, චීනෙත් නැති සම්මන්ත්‍රණ ශාලා, නැව් නැති වරායවල්, ප්ලේන් නැති ගුවන්තොටුපොළවල් නම් හැදුවා. ඕවට මම කියන්නේ ‘කොමිස් කුට්ටි සංවර්ධනය’’ කියලයි. ඒ නිසා හම්බන්තොටට වැසිකිළි දීලා රාජපක්ෂලාගේ නම්බුව බේරන්නයි මම මේ යෝජනාව ගෙනාවේ. වැසිකිළි නැති එකම ගෙයක් මම මේ රටේ ඉතිරි කරන්නේ නෑ. මහා බස් ස්ටෑන්ඩ්, දුම්රියපොළවල් හදනවා. වැසිකිළි නරකාදියටත් අන්තයි. මම ඒවත් විධිමත් කරලා හදනවා. මෝදි අගමැති ඉන්දියාවෙත් මේ වගේ ටොයිලට් ව්‍යාපෘතියක් කළා. * මංගල හොරෙක් නොවන බවට මත තිබියදී ඕමාන් ගෑස් සමාගමේ ලංකාවේ නිත්‍ය ඒජන්තයා ලිට්රෝ ගෑස් ඉහළ තනතුරකට දාලා ඔබත් ඒ සෙල්ලමටද සැරසුණේ..,? මගේ අවංකකම ගැන මම ම සහතික දීලා වැඩක් නෑ. ඒක දන්න අය දන්නවා. ලිට්රෝ එක ළඟදී මට ලැබුණත් තාම ඒකේ ඉන්නෙ මම පත් කළ අය නෙවෙයි. අයින් වෙන්න කියලා කියද්දීත් එයාලා ඉන්නවා. එයාලා එක්ක එකතුවෙලා මම හොරකම් කරන්න ගියා කියන එකම විහිළුවක්නේ. ඔය කියන දෙමළ මහත්තයාගේ නම පක්ෂය එවපු එකක්. ඔහු ගැන මම දන්නේ නෑ. ඔය කතාව ආපු ගමන් මම ඒ නම කැපුවා. සියලු බැංකු මට තිබුණට රාජපක්ෂලා වගේ මගේ කිසි කෙනෙක් ඒවාට දාලා නැහැ. සියලු ඉහළ නිලවලට පක්ෂ නිර්දේශ මතයි පත් කළේ. ඒත් රැකියාවලට මාතර මගේ කෙල්ලෝ, කොල්ලෝ ටිකක් නම් දානවා. ගෑස් එකේ මම ගත්ත කියපු අය තාම පරණ හොරකම් කර කර ඉන්න හදනවද දන්නෑ. එතකොට කව්ද හොරු කියලා ඔප්පු වෙනවා. * චන්ද්‍රිකා යුගයේ සාර්ථකම ජනමාධ්‍ය ඇමැති ඔබ වුවත් මෙවර ඒ වගකීම් ඉටු නොවූ නිසා ඒ ඇමැති පට්ටම ගැලවුණාද? ජනමාධ්‍ය ඇමැති කියලා අද කරන්න දෙයක් නෑ. රාජ්‍ය මාධ්‍ය මෙහෙයවන්න විතරයි තියෙන්නේ. මම නිදහස් මාධ්‍යයට ගරු කරනවා. * පෞද්ගලික මාධ්‍ය මාෆියාවක් ගැන කියවෙන පසුබිමක ඔබට ඊට අභියෝග කරමින් ඉන්ජෙක්ෂන් දෙන්න බැරිවුණේ ඇයි? ඒ මාෆියාවට ඉන්ජෙක්ෂන් දෙන්න මට ජනමාධ්‍ය ඇමැතිකම ඕනම නෑ. මෙහෙම ඉඳගෙනත් ඊට වඩා ලොකු ඉන්ජෙක්ෂන් දෙන්න බැරිත් නෑ. * විධායක ජනපති ධුරය මෙවරත් අහෝසි වේද, නැතිනම් බොල් හඬක් පමණද? පොහොට්ටු - ශ්‍රීලනිප දීගය මෙන්ම එජාප ජනපති අපේක්ෂක සූදානම්ද යන්න ගැනත් ඔබේ මතය කුමක්ද? විධායක ජනාධිපතිකම අහෝසි කළ යුතුමයි. පත් වූ අය ඒ ඔටුන්න ඔළුවට තියලා ඇන ගහගෙන අල්ලගෙන හිටියා. සියලු පක්ෂ මීට කැමැති නම් මේ වෙලාවේ ඒ චාන්ස් එක අරන් අහෝසි කිරීම ඉතා වටිනවා. මම අනුන්ගේ දීග හෝ මඟුල් ගැන හොයන්නේ නෑ. උන් උන්ගේ දීගය කාපුවාවේ. නැත්නම් ඩිවෝස් වෙච්චාවේ. අපි අපේ එජාපෙ දීගය හරියට කරන සැලැස්මයි දැන් ක්‍රියාත්මක කරන්නේ. ජයග්‍රාහීම මනාලියක් අපි මේ පාර දෙනවා. * 2015 දීත්, ඔබ මගට ගිහින් හැරිලා ආවා. මේ පාරත් එහෙම ගේම් එකක් ගහනවද? මෙවර මගට ගිහින් හැරිලා නොඑන ගේම් එකක් ගහනවද? මට දැන් යන්න තැනැක් නැහැ. මොකද මගේ දර්ශනයට මගේ සිහිනයට උග්‍ර ලෙසම බද්ධ වූ පක්ෂයේයි මම දැන් ඉන්නේ. එජාපය දාලා මම යනවා නම් යන්නේ ගෙදරයි. අශෝක ජයතුංග
 

More News..