brand logo

නිදහසේ පියා ඩී. එස්ද, රනිල්ද?

12 January 2019

‘ලංකාව 1947 ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වුවද, 1972 දී ජනරජයක් බවට පත් වුවද. පරමාධිපත්‍යය සම්පූර්ණයෙන්ම අප වෙත පැවරුණේ නැත. තවමත් අපි ව්‍යවස්ථාමය වශයෙන් පූර්ණ ස්වජාතිකත්වය ලබා නැත.’’ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පළ කර ඇති මෙම අදහස අනුව අගමැති ඩී. එස්. සේනානායක නිදහසේ පියා ලෙස හැඳින්විය නොහැකිය. ඉදිරියේදී ගෙන එන ව්‍යවස්ථාව මගින් මෙරට නිදහස සම්පූර්ණ කළ විට නිදහසේ පියා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නොවේද? අගමැතිවරයාගේ මෙම විග්‍රහය පළ වී තිබුණේ 2014 නොවැම්බර් මාසයේ 09 වැනි දින ලංකාදීප පුවත්පතේ ය. ඔහුගේ මෙම අනගි සොයා ගැනීම සිදු කර දැන් වසර 04 ක් ගත වී තිබේ. දැන් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට යන්නේ ඊට පිළියම් යෙදීමට විය යුතුය. එනිසා මේ ඒ පිළිබඳ කතා කිරීමට සුදුසුම අවස්ථාවකි. ඒ සඳහා ඔහුගේ වචන උපුටා දැක්වීම අවශ්‍ය වේ. ‘‘ඉන්දියාව අනුගමනය කළේ අප ගත් ක්‍රියාමාර්ගය නොවේ. වෙනත් මගකි. අප කළේ ජනරජ ව්‍යවස්ථාව මගින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සම්මත කළ නිදහස් ලංකා පනත යළි තහවුරු කරලීමය. එහෙත් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 395 වන ව්‍යවස්ථාව මගින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 1947 ඉන්දියානු නිදහස් පනත පරිච්ඡින්න කෙරිණි. අප ව්‍යවස්ථාමය විජාතිකත්වය තෝරා ගනිද්දී ඉන්දියානුවෝ ව්‍යවස්ථාමය ස්වජාතිකත්වය තෝරා ගත්හ. ඒ නිසා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරම නීතිය බවට පත් විය. ඔවුහු පැහැදිලි වෙන්වීමක් පෙන්නුම් කළහ. අධිරාජ්‍ය අධිකාරිය විසින් සාදන ලද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුගත නොවන්නා වූ ලද සියලු නීති පැනවුම් ඔවුන් විසින් ව්‍යවස්ථාපිතවම අවලංගු කරන ලදී. නමුත් මෙහිදී අපේ තත්ත්වය වෙනස්ය. ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුගත නොවූණද, ජනරජයට පෙර සම්මත කරන ලද සියලු නීති තවදුරටත් නීත්‍යනුකූල ලෙස පිළිගැනිණි. එබැවින් ශ්‍රී ලංකාවේ 1972 ජනරජ ව්‍යවස්ථාව පරම නීතිය ලෙස සැලකීමට හැකියාවක් නැත. සැබැවින්ම සිදු වූයේ යටත්විජිත ස්වාමිවරුන් විසින් සම්මත කරන ලද නීතිවලට ශ්‍රී ලංකාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටත් කරලීමය. එබැවින් ජනරජ ව්‍යවස්ථාව හා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව යන ක්‍රම දෙකම අපගේ ආණ්ඩුක්‍රම පටිපාටියේ පදනම වශයෙන් පවතී. මෙය අන් තැනක දක්නට නොලැබෙන සුවිශේෂී තත්ත්වයකි.’’ රනිල් වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශයට අනුව තවමත් අපි ව්‍යවස්ථාමය වශයෙන් පූර්ණ ස්වජාතිකත්වය ලබා නැති නම් 1978 දී විධායක ජනපති ව්‍යවස්ථාව හඳුන්වා දුන් ඔහුගේ දේශපාලන පියා වන ජේ.ආර්. ජයවර්ධන ද ව්‍යවස්ථාමය වශයෙන් අසම්පූර්ණ හා අසාර්ථක බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටට නියම නිදහස ලබා දී ජාතියේ පියා වීමට රනිල් වික්‍රමසිංහ දරන උත්සාහයේ සැබෑ අරුත හඳුනාගැනීමට පෙර 1948 දී ලැබූ නිදහස කුමක්දැයි ප්‍රථමයෙන් හඳුනාගත යුතුය. ලංකාවට නිදහස ලබාදීම පිළිබඳ ක්‍රියාවලිය ආරම්භ වූයේ ඩොනමෝර් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය කළ ඉල්ලීම අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් 1943 මැයි 26 වන දින බ්‍රිතාන්‍යය විසින් නිකුත් කිරීමත් සමගය. ඉන්පසු ඇමැතිවරුන්ගේ කෙටුම්පත නමැති යෝජනාවලිය බ්‍රිතාන්‍ය වෙත යවනු ලැබීය. එය කෙටුම්පත් කරන ලද්දේ තමා විසින් බව අයිවර් ජෙනිංස් සඳහන් කර තිබේ. ලංකා (ස්වාධීනතා) රාජාඥාව - 1947 කෙටුම්පත් කිරීමේදී පවා බ්‍රිතාන්‍යයට උපදෙස් දීමේ කාර්යයද අයිවර් ජෙනිංස් විසින් ඉටුකරන ලදී. එබැවින් ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති (1942) ලෙස සිටි ශ්‍රීමත් අයිවර් ජෙනිංස් ප්‍රකාශ කර ඇති කරුණු කෙරෙහි විශ්වාසය තැබීමට හැකිය. ‘බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය’ නමැති කෘතියෙහි මෙසේ සඳහන් කර ඇත. ‘වර්තමාන පනත එනම් 1947 (ස්වාධීනතා) පනත මගින් පමණක් ලංකාවට ඩොමීනියන් තත්ත්වය නොලැබේ. ඊට හේතුව නම් එක්සත් රාජධානියේ හා ලංකාවේ නීතිවලටද, දෙරටේ සම්බන්ධතාවලටද සංකීර්ණ වෙනස්කම් සිදු කළ යුතු වීමය. එහෙයින් එය ඉටුකර ඇත්තේ පහත සඳහන් කාරණා මගිනි.
  1. මහා රජුට රාජ්‍ය සභාව මගින් පැවරිය නොහැකි ව්‍යවස්ථාදායක බලතල පැවරීමද, එක්සත් රාජධානියේ නීති වෙනස් කිරීමද මේ පනතින් සිදු කෙරේ.
  2. 1947 රාජ්‍ය සභා නියෝගය මගින්, එක්සත් රාජධානියට ලංකාවේ තිබුණු සියලුම යටහත්භාවයන් ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරේ.
  3. එක්සත් රාජධානිය හා ලංකාව අතර ඇති සම්බන්ධතාවන්ට බලපවත්නා ආරක්ෂාව හා විදේශ කටයුතු ගිවිසුම් මගින් එම රාජධානියට වෙනත් ඩොමීනියන් රටවලට බලපවත්නා ක්‍රම හා විධිවලට අනුගත වීම,
  4. ලංකා සන්නස්පත් මගින් ලංකාවේ අග්‍රාණ්ඩුකාර හා සේනාධිනායක ධුරයක් නිර්මාණය කිරීම,
  5. ලංකාව යටත් විජිත කාර්යාලයෙන් පොදු රාජ්‍ය මණ්ඩල සම්බන්ධීකරණ කාර්යාලයට මාරු කිරීම.
මෙම කරුණු අනුව 1948 දී අප ලබාගත් නිදහස කොන්දේසි සහිත නිදහසක් බව ඉතා පැහැදිලිය. එසේ තිබියදී ලංකාවට පූර්ණ නිදහස ලැබුණු බවට ජයග්‍රාහී මානසික තත්ත්වයක් ජනතාව තුළ ඇති කිරීම හා 1947 මැතිවරණ සටන මෙහෙය වූ එජාප නායක ඩී. එස්. සේනානායක නිදහසේ පියා ලෙස බෞතීස්ම කිරීම ලේක්හවුස් පුවත්පත් ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයකි. මේ අනුව බලන කල රනිල් වික්‍රමසිංහ නිවැරදිය. එහෙත් එ්මියන් ගිවිසුම (1802), උඩරට ගිවිසුම (1815) හා බ්‍රිතාන්‍ය පරමාධිපත්‍ය ප්‍රකාශනය (1818) අවලංගු නොකළ බව මෙන්ම 1947 නිදහස් පනතේ වලංගුභාවය ගැන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන තර්කවල ද වැදගත්කමක් නැත. ලංකාව නිදහස ලැබූ පසුවද එක්සත් රාජධානියේ ආධිපත්‍ය එලෙසම පිළිගන්නා බවට 1947 නොවැම්බර් 11 වන දින අත්සන් කළ ගිවිසුම ගැන රනිල් වික්‍රමසිංහ කිසිවක් නොදන්නා සෙයකි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ එක්සත් රාජධානිය නියෝජනය කරමින් අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් හා ලංකාව වෙනුවෙන් ඩී. එස්. සේනානායක විසිනි. එබඳු ගිවිසුමක් අත්සන් කළද, එය නිදහස් රටවල් දෙකක් අතර ගිවිසුමක් නොව අධිරාජ්‍යයක් හා යටත් විජිතයක් අතර ගිවිසුමක් වන බැවින් එය ලංකාවට නිදහස ලැබුණු පසු වලංගු නැතැයි නීති විශාරදයෝ පවසති. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙන් (1972) පවා ශ්‍රී ලංකාවේ පූර්ණ නිදහස තහවුරු නොවූ බවට රනිල් වික්‍රමසිංහ තර්කයක් ඉදිරිපත් කර ඇත්තේ යටි අරමුණක් ඇතිවය. 1972 ව්‍යවස්ථාවෙන්, 1946 සහ 1947 ලංකා (ආණ්ඩුක්‍රම සහ ස්වාධීනතා) රාජ සභා ආඥා හැර කලින් බලපැවැත් වූ සියලුම නීති බලපැවැත්වෙන්නේ යැයි (12 (1) වගන්තිය) ඇති සඳහන අනුව ලංකාව ව්‍යවස්ථාමය විජාතිකත්වය තෝරාගෙන තිබෙන බව ඔහු කියයි. එහෙත් 1972 ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තිබූ අයිතිවාසිකම් අවලංගු කරන ලදී. ඊට අදාළ 1972 ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය මෙසේය. ‘‘ලංකාවේ මහා රාජිනිය වූද, ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි මහා රාජිනිය වූද, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූද, දෙවන එළිසබෙත් මහා රාජනිය ලංකාවේ දැරුවා වූද, ක්‍රියාත්මක කලා වූද, ලංකාවේ මහා රාජිනිය වූද ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි මහා රාජිනිය වූද, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූද, දෙවන එළිසබත් මහා රාජිනිය විසින් ක්‍රියාත්මක කළ හැකි වූද බලතල හා වරප්‍රසාද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලු බලමහිමය ජාතික රාජ්‍ය සභාව වෙතත් නීති පැනවුවහොත් මිස ශ්‍රී ලංකා ජනරජයට හිමිවන්නේය. ශ්‍රී ලංකා ජනරජය ඒ සියලු බලමහිමය දරා ක්‍රියාත්මක කරන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වන තෙක් ලංකාවේ මහා රාජිනිය වූද, ස්වකීය වෙනත් රාජ්‍යයන්හි හා දේශයන්හි මහා රාජිනිය වූද, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූද, දෙවන එළසබත් මහා රාජිනිය විසින් කවර වූ හෝ ආකාරයකින් ඇතිව ලංකාවේ ඉටුකළ යුතු වූ යම්කිසි යුතුකමක් හෝ බැඳීමක් හෝ වේද, ඒ සියලු යුතුකම් හා බැඳීම් ජාතික රාජ්‍ය සභාව වෙනත්, නීති පැනවුවහොත් මිස ශ්‍රී ලංකා ජනරජය වෙත පැවරෙන්නේය.’’ මේ අනුව ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබී නැතැයි කිව හැකිද? අපට 1947 ලැබුණු නිදහසට තිබූ බාධක නිසා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කළ නොහැකි යැයි 1972 දී බොහෝ අය තර්ක කළහ. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා කොළඹ නව රඟහලේ පැවති රැස්වීමේදී ආචාර්ය ඩබ්ලිව්. දහනායක ප්‍රකාශ කර ඇත්තේ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (4) වගන්තිය අනුව, ව්‍යවස්ථාව වෙනස් කිරීමට තුනෙන් දෙකක බහුතරයකින් කළ හැකි වුවද 29 (2) වගන්තිය අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් සීමාකම් පවතින බවයි. බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයන් වන පියර්ස් හා වයිකවුන්ට් රැඩික්ලිෆ් යන සාමිවරුන්ගේ මතය අනුව සෝල්බරි ව්‍යවස්ථාව කිසි ලෙසකින් හෝ වෙනස් කළ නොහැකි බවද ඔහු කියා තිබේ. ඇමෙරිකාව හා අයර්ලන්තය උදාහරණ ලෙස ගෙන එම රටවල ජනතාවට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සකස් කරන ලද්දේ ජනතා පරමාධිපත්‍ය නිසා යැයි ද ආචාර්ය දහනායක පෙන්වා දී ඇත. එබැවින් ජනතාවගේ පරමාධිපත්‍ය ඉතා උතුම් බව ඔහුගේ අදහස විය. සෝල්බරි ව්‍යවස්ථාව (1946 ලංකා ආණ්ඩුක්‍රම ආඥා පනත) සංශෝධනය කිරීම සඳහා (එහි 29 (4) වගන්තිය අනුව) තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය යැයි දක්වා තිබිණ. එයද සැලකිල්ලට ගත් සමගි පෙරමුණ (ශ්‍රීලනිප, ලසසප, කොමියුනිස්ට් සභාගය) 1970 මහ මැතිවරණයේදී බලය ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ප්‍රධාන පොරොන්දුව වශයෙන් ජනතාව ඉදිරියේ තබමිනි. එහිදී සමගි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘‘ඔබ විසින් තෝරාපත් කරගන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, පිළිගෙන, ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමේ වරම අපි ඔබෙන් ඉල්ලමු. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයක අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇප කැප වූ ස්වාධීන, ස්වාධිපත්‍යය සහ ස්වෛරී ජනරජයක් බවට ලංකාව පත් කිරීම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු කෙරෙන අතර සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරනු ඇත.’’ මේ අනුව 1970 මැතිවරණයේදී ශ්‍රීලනිපයට ආසන 91,යි. ලසසප ආසන 19 ක් හා කොපය ආසන 6 ක් දිනා මුළු ආසන 157 න් සමගි පෙරමුණට ආසන 116 ක් ලබා ගනිමින් ව්‍යවස්ථා සම්පාදනයට අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය හිමිකරගත්තේය. සෝල්බරි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්දරලිංගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මෙම 1970 සමගි පෙරමුණු ව්‍යවස්ථා ක්‍රියාවලිය ආදර්ශයට ගැනීමට මෙන් රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අංක 3 යටතේ නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය යනුවෙන් යෝජනාවක් ඇතුළත් කර තිබේ. මෙය ඔහුගේ යෝජනාවයි. ‘‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන අයුරින් යහපාලන මූලධර්ම රාජ්‍ය ක්ෂේත්‍රයට තවදුරටත් කාවදින ලෙසද, ප්‍රාදේශීය නියෝජිතයන් ශක්තිමත් කරමින් ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අසමානතා දුරු කර සමානතාව ශක්තිමත් කරන අයුරින්ද වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිණිස මීළඟ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග කටයුතු කරනු ඇත.’’ 1972 සම්මත කෙරුණු ජනරජ ව්‍යවස්ථාවෙන් ද 1978 සම්මත නව ව්‍යවස්ථාවෙන්ද, 1947 එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් නීතිගත කරන ලද ලංකා නිදහස් පනත අහෝසි නොකෙරිණ. උඩරට ගිවිසුමටද වසර 200 ක් පිරෙන මේ අවස්ථාවේ මෙම තත්ත්වය නිවැරදි කිරීම තවත් ප්‍රමාද කළ යුතු නැත. එම නිසා අප සම්මත කරගන්නා නව ව්‍යවස්ථාව මගින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සමග තිබූ අවසාන නෛතික සම්බන්ධතාවද සම්පූර්ණයෙන්ම අහෝසි කෙරේ.’’ (පංච විධ ක්‍රියාවලිය 12-13 පිටු) මෙම යෝජනාව සමග රනිල් වික්‍රමසිංහ 2014 නොවැම්බර් 19 දිනැති ලංකාදීපයට ලියූ ලිපිය ද අවධානයට ගත යුතුය. නිදහසේ පියා ලෙස එජාපය විසින්ම අභිෂේක කළ ඩී. එස්. සේනානායකට එම ගෞරවය අහිමි කිරීමට වත්මන් එජාප නායකයා වැඩපිළිවෙළක් සකස් කිරීම අත්වැරදීමක් නොවේ. මෙය ඉතා සැලසුම්සහගත ක්‍රියාවලියකි. එම වැඩපිළිවෙළෙහි ප්‍රකාශකයා රනිල් වික්‍රමසිංහ වුවද එහි පියා ඔහු නොවන බව පැහැදිලිය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඊනියා බැඳීම්වලින් නිදහස් කර ගැනීමේ පීතෘවරයා හඳුනා ගැනීම සඳහා ඉඟියක් මෙහි පහත පළ කෙරේ. මෙහි උපුටා දක්වනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත්, 2015 ජනවාරි 08 ජයග්‍රහණයත් පිළිබඳ නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට ලියූ ලිපියකිනි. ‘‘ඉන්දියාවේ පවත්නා ආකාරයේ නිදහස් නිලධාරින්ගෙන් සමන්විත සම්පූර්ණ ෆෙඩරල් ක්‍රමයකට ශ්‍රී ලංකාවද අනාගතයේදී අවතීර්ණ විය යුතුය.’’ තම අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන මහතා පත් කර ගත්තේ දුරදක්නා දේශපාලන නුවණින් යුතු මනා අත්දැකීම් සහිත රනිල් වික්‍රමසිංහ මහතාය.’ ‘‘බැතිමත් බෞද්ධයකු වන සිරිසේන මහතා සිංහල හදබිමක් වූ පොළොන්නරුවෙන් බිහි වූවෙකි. ඔහුගේ ජීවන පසුබිම යටතේ මෙරට සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්න සැබෑ ලෙස හඳුනාගෙන ඔවුනට සහන සැලසීමට නායකයකු ලෙස ඔහුට අසීරු නොවනු ඇත. සිය මැතිවරණ ජයග්‍රහණයට සුළු ජාතීන්ගෙන් සුවිශාල සහායක් ඔහුට හිමි විය. මහින්ද රාජපක්ෂ මැතිවරණ දිස්ත්‍රික්ක 160 කින් 90 ක් ජයග්‍රහණය කරමින් බහුතර සිංහල ජනයා වාසය කරන ප්‍රදේශවලින් ඉහළම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය. ඔහු ලද සිංහල ඡන්ද ප්‍රතිශතය දළ වශයෙන් 55% කි. මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් 80% ක් ලබා ගැනීමට සමත් විය. දැන් උදා වී ඇත්තේ ඔවුනට කෘතගුණ සැලකීමේ කාලයයි.’’ රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථා ව්‍යාපෘතිය හුදෙක් ජාතියේ පියා වීම සඳහා නොවේ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඊට සහාය දක්වන්නේ, මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරය නිසාම හෝ දෙමළ ජනතාවට යුක්තිය ඉටුකිරීම පිණිස යැයි කීම අසම්පූර්ණය. මෙම ප්‍රහේලිකාව සම්පූර්ණ කර ගැනීම සඳහා 1999 අගෝස්තු 20 වන දින ‘ඒෂියා වීක්’ සඟරාවේ පළ කළ අනාවැකියෙන් අපට යම් ඉඟියක් ලැබේ. ඒ ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග හට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බවට ආතර් සී ක්ලාක් පළ කළ අනාවැකියයි. මෙය හුදු අනාවැකියක් පමණක්ම නොවන්නේ 2003 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති වීඩා හෙල්ගසන් හා නෝර්වේ තානාපති ජෝන් වෙස්බර්ග් ජනාධිපතිනිය හමු වී කළ ඉල්ලීමක් නිසාවෙනි. නෝර්වේ රටට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස හැරල්ඩ් රජු කළ ආරාධනයක් මෙහිදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත ඉදිරිපත් කර ඇති අතර නොබෙල් ත්‍යාග කමිටුව හමුවේ දේශනයක් පවත්වන ලෙසද එහිදී ජනාධිපතිනියගෙන් ඉල්ලා ඇත. එකල රනිල් වික්‍රමසිංහ සමග මෙන්ම නෝර්වේ සාම දූතයන් සමගද වෛරයෙන් කටයුතු කළ ඇය, පසුකාලීනව වෙනස් වූ අයුරු ජනතාව හොඳින් දනිති. ලෝක දේශපාලනයේ බොහෝ කටයුතු සඳහා නෝර්වේ මැදිහත් වන්නේ නොබෙල් සාම ත්‍යාගය එක් අතක රඳවාගෙන බවද ලෝක ප්‍රජාව දනිති. නෙල්සන් එස්. පෙරේරා  
 

More News..