brand logo

නිදහස් පුහුණුවට මිහින්තලෙන් ආ භටයන්ට කොවිඩ් ද ?

01 February 2021

මිහින්තලය පුහුණු පාසලේ සිට නිදහස් උළෙලේ පෙර පුහුණුවීම්වලට කොළඹට පැමිණි සිවිල් ආරක්ෂක භට පිරිස අතර කොරෝනා වයිරස ආසාදිතයන් සිටිය හැකි බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක පවසයි. මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 17 දෙනකු පසුගියදා හඳුනා ගැනුණු අතර එම පුහුණු පාසලේ බොහෝ පිරිසකට රෝග ලක්ෂණ තිබූ බවද වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට දැනුම් දීමට ක්‍රියා කළේ ඔවුන් සියලුම දෙනා එකට පුහුණුවීම්වල යෙදුණු නිසා බවද හෙතෙම ප්‍රකාශ කරයි. කොළඹ තිබෙන පුහුණුවීම්වලට 200 ක පමණ පිරිසක් එවා ඇත. ඔවුන් සමග මිහින්තලේ කඳවුරේ සිටි පිරිසකට උණ, කැස්ස, හෙම්බිරිස්සාව පැවැතීම හේතුවෙන් කඳවුරේ රඳවා තබා ඇති බවද හෙතෙම පවසයි. එම රෝග ලක්ෂණවලින් පෙළෙන පිරිස මිහින්තලය මීටියගම ප්‍රදේශයේ පිහිටි තවත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක කියයි. ඔවුන්ගෙන් දස දෙනකුට වයිරසය ආසාදිත වී ඇති බව තහවුුරුව ඇත. ඒ අනුව වයිරසය මුළු භට කණ්ඩායම පුරාම පැතිරී ඇති බවට සැක කෙරේ. සිවිල් ආරක්ෂක අංශ බලධාරීන්ට හා කොළඹ සෞඛ්‍ය බලධාරීන්ට තමන් මේ පිළිබඳ ලිඛිතව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කරයි. මේ පිළිබඳ අප සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ නිදහස් දින පෙළපාළියේ පෙරහුරුවට කොළඹ පැමිණි 278 දෙනාම කොවිඩ් ආසාදිතයකු හා නොගැටුණු අය බවයි. ඔවුන් දින දෙකක් තිස්සේ මිහින්තලේදී පෙරහුරු කර අහඹු පරීක්ෂාවන් කළ පසුව රැගෙන ආ බවත් කියයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා/හේමන්ත ලියනපතිරණ
 

More News..