brand logo

නිදහස් පක්ෂයේ නීතියට පිටින් ගියොත් සංවිධායකවරු ඉවතට

02 November 2019

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පටහැනිව හිටපු ජනාධිපතිනිය සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකරන ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග හිටපු ජනාධිපතිනිය සන්ධානගත වීම පසුගිය සිකුරාදා කොළඹදී සිදුවූ අතර, ඇය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී. එම උත්සවයේදී නිවේදකයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රුවන් රණතුංග අත්සන් කරන බවයි. ‘සති අග අරුණ’ මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ රුවන් රණතුංගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අත්සන් කිරීමට බලයක් නොමැති බවයි. හිටපු ජනාධිපතිනිය මෙලෙස සන්ධානගත වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑමක් ඇතිනොවන බවද ඔහු අවධාරණය කර සිටියේය. 2015 වසරේදී යහපාලන රජය ගෙන ඒමට මූලික වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මෙවරද අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේය. හිටපු ජනාධිපතිනිය සමග ආසන සංවිධායකවරු 40ක් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. උදයජීව ඒකනායක
 

More News..