brand logo

නිදහස් දිනයද? ජාතික දිනයද?

02 February 2019

වසර හැත්තෑ දෙකක් පුරා පෙබරවාරි 04 වැනිදාට නිදහස් දිනය යැයි කියූ අප මේ වසරේ සිට කියන්නේ ජාතික දිනය කියාය. අපට එසේ කියන්නට සිදු වන්නේ වසර හැත්තෑ දෙකක් පුරා අපේ අතින් සිදු වූ මහ වරදක් නිවැරදි කර ගන්නටය. ඒ නිවැරදි කරන්නේ වස්දොස් ගණ ශබ්දාලංකාර ආදියෙන් මතුවන දෝෂයක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපේ කටින් වූ මහා දොසකි. වර්තමාන රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඒ දෝෂය රටට පෙන්වාලමින් මෙසේ කීවේය. ‘‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය කියා නෙවෙයි, ජාතික දිනය කියලා. ඒ නිසා මෙවර අපි සමරන්නේ නිදහස් දිනයක් නෙවෙයි, ජාතික දිනයක්.’’ පෙබරවාරි 04 ජාතික දිනය ලෙස හඳුන්වා දීම කර ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් එදා සිට ව්‍යවස්ථාව කඩ නොකර රක්ෂා කරන බවට ගෞරව බහුමානයෙන් ප්‍රතිඥා දෙමියි කී මහජන නියෝජිතයන් හැමෝම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීමය. ඒ කෙසේ වෙතත් මෙබඳු වරදක් නිවැරදි කිරීමෙන් මේ රටට මොනතරම් හොඳක් සිද්ධ වේද? රුහුණෙන් මීකිරිද, මිහින්තලේ වනාන්තරයෙන් මී පැණිද, වැව්බැඳි රාජධානියේ වැව් උතුරා ගොඩමඩ සරු වීමද ගේදොර සතුටු සිනා වැසිද උතුරන්නට පුළුවන. එසේම මේ පොළෝ තලයේ තිබෙන එකසිය අනූ තුනක් වූ රාජ්‍යයන් අතර කොම්බුවක්, ඇලපිල්ලක්, කොමාවක්, නැවතීමේ තිතක් නෑර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෑම වදනක්ම ආරක්ෂා කරන්නා වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව බහුමානයට පාත්‍ර වනුද ඇත. රාජ්‍ය පරිපාලන ඇමැතිතුමා තවත් යටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා පළාත් සභා ඡන්ද පවත්වන්නට තිබෙන දිනය පහු වී ඇති බව ඇස ගැටුණොත් මොනවායින් මොනවා වේද? එසේම මහජන නියෝජිතයන් වත්කම් බැරකම් නිරවද්‍ය ලෙසට භාර දිය යුතු බවට තිබෙන වගන්තිය දුටුවොත් මොනවායින් මොනවා කරාවිද යන සැකය ජනතාවටම ඇති වන්නේය. ඒ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් මූලික නීතියෙන් පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම්ය. ශ්‍රී ලංකාව දුරාතීතයේ සිටම වචනවලින් රමණීය ප්‍රහස්තාත්මක දේශපාලන වැඩ කළ රටකි. 1815 දී උඩරට රටවල් දොළසකට අයත් නිලමේවරු බ්‍රිතාන්‍ය කිරීටයට භාර දුන්නේ සිංහලේ නම් රාජ්‍යයකි. ඉංග්‍රීසින් උඩරට ගිවිසුමේ තමන් භාරගත් රට හඳුන්වන්නේ සිංහලේ නමිනි. 1948 පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍ය මහ රාජිනින් වහන්සේ අපට භාර දුන්නේ සිලෝන් නම් රාජ්‍යයකි. එය ලංකාව ලෙස හැඳින් විණ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාව මුලට ශ්‍රී කෑල්ලද එල්ලිණි. 1956 දී උතුරේ ඇත්තෝ මේ ශ්‍රී අකුරේ තාර ගෑහ. කාර්වල නොම්මර තහඩුවේ තිබෙන ශ්‍රී අකුරේද තාර ගෑහ. ජාතිවාදී, දෙමළ අතලොස්ස එයින් තම ජාතියට සෞභාග්‍යය ගෙනෙන්නට ඇත. ඩී.එස්. සේනානායක කාලේ වැවක් හැදුවා නම් ඒක සේනානායක සමුද්‍රයය. බණ්ඩාරනායක කාලේ ගුවන්තොටක් කළා නම් ඒක බණ්ඩාරනායක ගුවන් තොටය. ජේ.ආර්. ජයවර්ධන නගරයක් හැදුවේ නම් එය ශ්‍රී ජයවර්ධනපුරය. චන්ද්‍රිකා මැතිනිය කළ කිසි දෙයක් නැති නිසා ඇය ඒ අතින් ආදර්ශමත්ය. මහින්ද රාජපක්ෂ වරායක් හැදුවේ නම් එය මහින්ද රාජපක්ෂ වරායය. හැදූ දේ විකුණන එකාගේ නමින් ජාතික සම්පත් නම් කරන්නේ නැති නිසා රනිල්ද පෙර වරදින් නිදොස්කොට නිදහස් කළ හැකිය. ඊළඟ වැදගත් දෙය වන්නේ අලුත් ආණ්ඩුවක් ආ වහාම පරණ ආණ්ඩුව තැබූ නම් ගැලවීම නොතකා හැරීමය. ජනරජ දිනය ආරම්භ කර සැමරුවේ 1972 සිට 1978 දක්වා පමණකි. 78 න් පසු එය අමතක කළේ ය. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් මැයි 18 දා විජයග්‍රහණයේ දිනය විය. එහෙත් 2015 ජනවාරි 08 වැනිදා සිට එය අමතක කර දමා ඇත. සැබැවින්ම මේ පෙනෙන්නේ මේ රට එක මතයක නැති බවය. මනසින් රට නිදහස් නැති බවය. ඉඳින් කෙසේ නම් එ් වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරන්නද?
 

More News..