brand logo

නෑගමන් නොගොස් අවුරුදු කමු

16 April 2020

පැටි වයසේදී නැකැතට කිරි බත් කෑ අප, ඊළඟට බලා සිටින්නේ පිටස්තර අයකු පැමිණ ගේ අලෙවි කරන තුරුය. ඒ ගේ අලෙවි කිරීමෙන් පසු ඔහු බුලත් කොළයක ඔතා ලොකු පොඩි සැමටම සල්ලි දෙන නිසාය. අපට නම් හම්බ වුණේ කොළ නොව කාසිය. ගේ අලෙවි කිරීමෙන් පසු අපගේ ප්‍රධානම කාර්යය වන්නේ කැවිලි පිඟන් රැගෙන අසල්වාසී නිවෙස් වෙත යාමය. පැටි වයසේ අප මෙකී රාජකාරිය ඉටු කරන්නේ දේවකාරිය ලෙස සලකාගෙනය. ඒ කැවිලි පිඟන් දී වැඩිහිටියන්ට වැඳීමෙන් පසුව තෑගිත් ලැබුණි, කාසිත් ලැබුණි. එදා මෙන්ම ගෙවී ගිය සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට පසුගිය අවුරුද්ද දක්වාම කැවිලි පිඟන් රැගෙන අසල්වාසී නිවෙස්වලට ගිය අපට මෙවර එය කිරීමට අවස්ථාවක් නැත. හේතුව අසල්වැසියන් විරසකව සිටීම නොවේ. අසල්වැසියන්ද අපද ගිල ගන්නට කොරෝනා බලා සිටින බැවිනි. සෞඛ්‍ය අංශ කියන්නේ මෙවර අවුරුද්දේ කෑම පිඟන් හුවමාරු කරගැනීම හෝ නෑගම් යෑමෙන් අප කරන්නේ අපට මෙන්ම අසල්වැසියාටද අනාදරය දැක්වීම බවය. අපේ කෑම පිඟාන සමගින්ද කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයද අප එම නිවෙස්වලට රැගෙන යාමේ අවදානමක් තිබෙන බැවිනි. මෙකී අවදානම තේරුම්ගත් රජයද ගිය සතියේ නිවේදනයක් නිකුත් කළේය. ඒ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර විසිනි. දිවයින තුළ පවත්නා වත්මන් පීඩාකාරී තත්ත්වය හේතුවෙන් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීම ඔබ විසින් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබගේ වැඩිදුර අවධානය යොමු කරමි. ‘නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදු කිරීමට සහ සරල ආහාර ද්‍රව්‍ය සකසාගෙන අදාළ චාරිත්‍ර ඉටු කිරීමටත්, තම නිවසේ සිටම ආගමානුකූලව කාර්යයන් ඉටු කරන ලෙසත් පවත්නා තත්ත්වය තුළ නිවසින් බැහැරට යාමට හෝ විවිධ උත්සවාදීන් සංවිධානය කිරීම නොකළ යුතු බවත්, කාරුණිකව දන්වා සිටිමු’ යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කීවේය. රජයක් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට වග බලාගත්තේද අවුරුදු, අවුරුදු කියා සියල්ලෝම නෑගමන් යන්නට පටන් ගතහොත් උද්ගත වන තත්ත්වය අතිශයින්ම බරපතළ බව දන්නා බැවිනි. නමුත් බොහෝ දෙනකු සිතා සිටින්නේ කෙසේ හෝ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික හෝ ඉටු කිරීමට ඇත්නම් කියාය. එහෙත් රජය කියන්නේ ගෙදරටම වී සිටින ලෙසය. කොටින්ම කියනවා නම් රජ දවස පටන් රජ ගෙදරට නැකැත් සීට්ටුව අරන් යන චාරිත්‍රයද මෙවර කෙරුණේ නැත. ඒ සෙනග රැස්කර අණබෙරකරුවන් සමග පෙරහරේ යාම සෞඛ්‍යයට හිතකර නැති බැවිනි. ‘‘අපි අපේ ජීවිත කාලය තුළ ඉගෙන ගත්තේ නැති පාඩමක් තමයි මෙවර ඉගෙන ගන්න තිබෙන්නේ. මෙවර නැකැත් පත්‍රය හදලා දීලා තියෙන්නේ ස්වභාව ධර්මය විසින්. ඒ නිසා අපි මෙවර සිංහල අලුත් අවුරුද්ද බොහොම කල්පනාවෙන් සැමරීමට අවශ්‍ය වෙනවා. අපි නිවසේ සිට මේ චාරිත්‍ර ඉටු කරමු. තුණුරුවන් ගැන සිතමින් පිරිත් කියමින් හැමෝටම මෛත්‍රිය වඩමින් මේ චාරිත්‍ර අපි ඉටු කිරීමට වගබලා ගමු. ගෙදර සිට අපිට හැකි අයුරකින් අවුරුදු චාරිත්‍ර කළාට කමක් නැහැ. හැබැයි පිරිස් එකතු වෙමින් කිසිවක් කරන්න එපා. නිවසේ සිටින අය සමග පමණක් මේ චාරිත්‍ර ඉටු කරමු’’ එසේ වදාළේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හාමුදුරුවෝය. ලංකා ඉතිහාසයේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වූයේ මෙවර පමණක් නොවේ, මීට වසර හැත්තෑ අටකට පමණ පෙරද සිංහල අවුරුද්ද සැමරීමට නොහැකි වූවේය. ඒ 1942 වසරේ අප්‍රේල් මාසයේදී ජපන්නු ලංකාවට බෝම්බ දැමීම හේතුවෙනි. එසේම මීට වසර හතළිස් නවයකට පෙර පැවති සිංහල හින්දු අලුත් අවුරුද්ද ලාංකිකයෝ ජයට සැමරුවේ නැත. ඒ 1971 අප්‍රේල් කැරැල්ල හේතුවෙනි. වෛරසයක් නොවුණද පැවති තත්ත්වය පාලනය කිරීමට ඇඳිරි නීතිය පනවා තිබූ බැවින් එවරද සිංහල අලුත් අවුරුද්ද ලාංකිකයන්ට අහිමි වී ගියේය. එසේම ඇතැම් ගම් වසංගත තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල අවුරුදු සැමරීමට තහංචි දැමූ සම්ප්‍රදායක් රටේ තිබූ බව ජනශ්‍රැති පර්‌යේෂක මහින්ද කුමාර දළුපොත කියන්නේය. ‘‘අපගේ පැරණි ජන සමාජය ගැමියන් බෝවන රෝගවලට ගම් ගොදුරු වුණාම අවුරුදු කරන්නේ නැහැ. ගමේ විදානගේ මෙන්ම ගම්රාලගේ ප්‍රධානත්වයෙන් ගම්වැසියන් රැස් කරලා මෙවර රෝග තත්ත්වය නිසා අපි අවුරුදු කන්නේ නැහැ කියලා තහංචි පනවනවා. මොකද ඒ කාලේ අවුරුදු කෑවේ හැමෝම එකතු වෙලා, අවුරුදු ක්‍රීඩා වන අං කෙළිය, පොර පොල් ගැසීම වැනි ක්‍රීඩා අවුරුදු දින පැවැත් වුණා. මේ තහංචි සමගම ගෙදර අම්මා පඬුරු ගැට ගහලා වසංගතවලින් හැමෝම රැකගන්න කියලා පතනවා. ඔවුන් ගෙදර කට්ටිය අවුරුදු කන්නේ නැහැ කියලා ගෙදරම තහංචි දමා ගන්නවා. තෙල් තාච්චි ළිප තබන්නේ නැහැ. රෝගයන්ට ගොදුරු වුණු අය සිටිනවා, මරණයට ගොදුරු වූ නිවෙස් තිබෙනවා. ඒ වාගේ පිරිසට තෙල් සුවඳින් හිත රිදෙන නිසා අපේ පරණ ගැමියන් ඒවා අනුගමනය කළා. මේ වනවිටත් අපේ රටත් ගොදුරු වෙලා තිබෙන්නේ එවැනි වසංගත තත්ත්වයකට. අපිත් මේ අවුරුද්ද එවැනි තහංචි දමාගෙන මව මුල් කරගෙන ගෙදරට වෙලා චාරිත්‍ර ටික පමණක් කරමු.’’ සාමාන්‍යයෙන් අප සමාජයේ දෙවියන්ගේ ලෙඩ ලෙසින් හඳුන්වන පැපොල, සරම්ප වැනි රෝගයකට නිවසේ වෙසෙන්නෙකු ගොදුරු වූ කල තෙල් තාච්චියක් පවා ළිප තබන්නේ නැත. එසේම මරණයක් සිදුව තුන් මසක් යනතුරු එවැනි ගෙදරක පිටි කෙටෙන්නේ හෝ තෙල් වලඳක් ළිප නොතබයි. එවැනි තහංචි එකල අප විසින්ම යොදාගෙන තිබුණි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අවදානම් සන්නිවේදන හා මාධ්‍ය ප්‍රචාරණ අංශයේ අංශ ප්‍රධානී ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ පවසන්නේ මෙවර අලුත් අවුරුද්දට අලුතෙන් සිතා වැඩ කළ යුතු බවය. ‘‘අපිට වෙනදාට වඩා හොඳට කොහාගේ හඬ ඇහෙනවා. වෙනදා නොදෙන පණිවිඩයක් කොහා අපිට මෙවර කියනවා. වසංගතයක් පැතිර යන මේ මොහොතේ චාරිත්‍ර වාරිත්‍ර පවුලක් විදිහට පමණක් ඉටු කරන්න කියලා කොහා අපිට කියනවා. නිවසේ සිටම චාරිත්‍ර ඉටු කරන්න අසල්වැසියන්, ඥාතීන් සමග තෑගි භෝග, කැවිලි පෙවිලි හුවමාරු කරගන්න එපා. අපි මේ හුවමාරු කරගන්නා දේ තුළින් වෛරසය පැතිරෙන්න ඉඩ තිබෙනවා. ඥාතීන්, අසල්වැසියන් සමග දුරකථනයෙන් නව තාක්ෂණය ඔස්සේ සබඳතා අලුත් කරගන්න. ඔවුන් හමුවන්න යන්න එපා. බැරිවෙලා හෝ ඔබ කුඩා කණ්ඩායම් ලෙස එකතු වීමට උත්සාහ කර එතැන වසංගතය ශරීරගත වූ අයකු සිටියහොත් මුළු ප්‍රදේශයම පවා වැසීමට සිදුවෙනවා. මේ තත්ත්වයන් ඇතිකර ගන්න එපා. නැකැතට කිරි උතුරවන්න හැමෝටම කිරි නැතිව ඇති. තියෙන විදිහට උයා පිහාගෙන අරපිරිමැස්මෙන් කටයුතු කරමු. වැඩ අල්ලන නැකතේ අපි පැළයක් හිටවමු. පවුලක් විදිහට ස්වයංපෝෂිත වෙමු. වවාගෙන කෑමට පුරුදු වෙමු. දරුවන් ස්වයං අධ්‍යාපනයට යොමු වෙලා බුද්ධි වර්ධනය කරගැනීමට මෙය අවස්ථාවක් කරගමු. පවුලක් තුළ අනවබෝධයක් තිබුණා නම් එය නැතිකර ගැනීමට මෙය අවස්ථාව කරගමු. පුණ්‍ය කාලයේදී නිවසේ සිටම ආගමික වතාවත් කරලා රටටම නිරෝගී සුවය පතමු. අපි හැමෝම විනයගරුක පුද්ගලයන් බවට පත්වෙලා අලුත් ආකාරයට සිතමු’’ ඇය ඔවදන් දෙන්නීය. බොහෝ දෙනා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට යන්නේ ලිතේ හැටියටය. පුණ්‍ය කාලයේ පන්සල් යාම, රැකියා සඳහා පිටත්ව යාම, හිස තෙල් ගෑම ඇතුළු බොහෝ චාරිත්‍ර ඇත්තේ බාහිර ප්‍රජාව සමග මුහුවන ආකාරයටය. ඒ නිසා අප කල්පනා කළේ පංචාංග ඈපා ලිතෙහි අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන කර්තෘ වන ඉන්දික ඈපා සෙනෙවිරත්නගේ අදහස දැන ගැනීමටය. ඔහුද කියන්නේ සමාජ දුරස්ථ භාවය තබාගෙන අපි මෙවර අවුරුදු සමරමු කියාය. ‘‘වෙනදාට අපි අවුරුදු සැමරුවේ ආච්චිලා, සීයලා, දුවලා, පුතාලා, මුනුපුරු මිනිබිරියන් සමගින්. නමුත් රට පත්වෙලා තිබෙන ව්‍යසන තත්ත්වය හමුවේ මෙවර අපිට එහෙම අවුරුදු සමරන්න බැහැ. නමුත් අපි පවුලේ අය සමග චාරිත්‍ර ඉටු කරමු. නැකැතට ළිප ගිනි මොළවමු, ආහාර අනුභව කරමු. ගනුදෙනු කිරීමේදී අපිට සුපුරුදු ලෙසම ළිඳත් සමග ගනුදෙනු කිරීමට පිළිවන්. වැඩිහිටියන්ට වැඳීම මූලික කරගමු. ඒ චාරිත්‍රය මතක ඇතිව අපි ඉටු කරමු. නෑගම් යාම, අසල්වැසියන්ට කැවිලි බෙදීම, අවුරුදු උළෙලවල් අපි ලබන වසරේදී කරමු. පවුලක් වශයෙන් එකතු වීමේ චාරිත්‍ර ටික නිවස තුළම ඉටු කිරීමට අපිට පුළුවන්. එය ඉටු කරමු.’’ චීන ජනතාවගේ අවුරුද්ද යෙදී තිබුණේ කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වූ දිනවලය. ඔවුන් අවුරුද්ද සැමරුවේ නැත. රජයේ උපදෙස්වලට අනුව නිවෙස්වලට වී සිටියේය. අද ඔවුන් වෛරසය ජයගෙන ගොඩ එමින් සිටින්නේය. අපිත් කළ යුත්තේ එය බව රත්මලාන ධර්ම පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පැවැසූහ. උන්වහන්සේ වදාළන්නේ මෙවර අලුත් අවුරුද්ද සැමරීම නොකළ යුතු බවයි. ‘‘මේ වනවිට අපේ රට පමණක් නෙවෙයි, මුළු ලොවම මේ කොරෝනා ව්‍යසනයට ගොදුරු වෙලා සිටිනවා. කායික මෙන්ම මානසිකවද ජනතාව පීඩාවට පත්වෙලා. සිරිත් විරිත් සැමරීමට අපි ලොකු ඉඩක් දිය යුතු නැහැ. නීතිරීතිවලට අනුගත නොවන ජනතාවක් සිටින රටක අවුරුදු උණුසුම සමග මානුෂීය වශයෙන් නීතිරීති ලිහිල් කළොත් මේ වසංගතය පැතිරීමට එය අනුබලයක් වෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙන්නේ ධර්මයත් පහුරක් කරගන්න කියලා. බුද්ධ කාලේ වස් කාලය පවා කල් දැම්මා. අවුරුද්ද කල් දැම්මා කියලා, සිරිත් විරිත් නොකළා කියල අවැඩක්, සාපයක්, අයුක්තියක්, අකුසලයක් වෙන්නේ නැහැ. මීට වසර 2001කට පමණ පෙර ලංකාවේ ඇතිවුණු බැමිණිටියාසාය වසර දොළහක් තිබුණා. ඒ කාලේ අවුරුදු සමරලා නැහැ. මේ ගෙවෙන්නෙත් කාල විපත්තියක්. අපිට කිරිබත් එපා, ළිප ගිනි මෙළවීමත් එපා, සිරිත් විරිත් කළ යුතු දේවල් නෙවේ. සිරිත් විරිත් යනු කළ යුතු දේවල් කියා සමාජගත කරන්න එපා. අපි බෞද්ධයෝ වශයෙන් විපතක් සිදුවුණු වෙලාවට උත්සව පවත්වන්නේ නැහැ. අපි මේ අවුරුද්ද අල්පේච්ඡව තිබෙන දෙයක් කාලා ගත කරමු. බුදු දහමට අනුව නැකැත් යනු වේලාවයි. මේ වේලාව චාරිත්‍ර සිරිත් විරිත් කිරීමට වේලාවක් නෙවේ. මම කියන්නේ අවුරුදු එපා, සිරිත් විරිත් එපා, අපි නිවෙසට වී ගත කරමු මේ විපත්තියෙන් බේරීම සඳහා.’’ ශිරෝමි රත්නායක
 

More News..