brand logo

නැවේ තෙලෙන් කැස්බෑවුන්ට තර්ජන

30 September 2020

නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් මෙරට සාගර කලාපයේ විසූ කැස්බෑවුන්ට බලපෑමක් එල්ල වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය නිරීක්ෂණය කර ඇත. නැවේ තෙල් විසිරීම සිදුවූ සාගර කලාපයේ වෙසෙන කැස්බෑවුන් ජලය මතුපිටට පැමිණෙන තත්ත්වයක් නිරීක්ෂණය වූ බව එම ආයතනය පවසයි. ඉන්ධන සහිත එම මුහුදු කලාපයේ එම කැස්බෑවුන්ට නොගැළපෙන තත්ත්වයක් මතු වීම නිසා මෙලෙස ජලය මතුපිටට පැමිණෙන බවට සැකකරන බව සඳහන් කෙරේ. මේ පිළිබඳව වැඩිදුරටත් නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත්, නැව මෙරට මුහුදු කලාපයේ පවතින තුරු සතියකට දෙකකට වරක් නැව ආශ්‍රිත මුහුදේ ජල සාම්පල ලබා ගන්නා බවත් ජලජ සම්පත් පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය ශ්‍යාමලී වීරසේකර පැවසුවාය. මීට අමතරව නැව ආශ්‍රිත මුහුදේ ශාක සහ සත්ත්ව ප්ලවාංග සාම්පල ලබාගන්නා බවත්, ප්ලවාංගවල සිටින පැලනොයිස් නමැති විශේෂය ඉන්ධන සහිත පරිසර පද්ධතිවල දී ප්‍රතිදීප්තියක් දක්වන බවත්, ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් ජාතික ජලජ සම්පත් පර්‌යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය සඳහන් කරයි. මීට අමතරව, මත්ස්‍යයන්ගේ කරමල්, අමාශ කොටස්වල තත්ත්වයන්ද පරීක්ෂා කෙරේ. දැනට ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒවායෙහි ඉන්ධන අඩංගු බව තහවුරු වී ඇති බවද කියයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..