brand logo

නැවේ තෙල් සාම්පල ගැන විමර්ශනයට අධිකරණයෙන් අවසර

11 September 2020

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ “MT New Diamond“නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අවසර ලබා දී තිබේ. එසේම එම නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ද ලබා දුන්හ. මීට අදාළ පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විමර්ශන සිදුකරන ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය සිදුකළේය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද මුහුදු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38 ක දුරින් ඉකුත් 03 වන දා “MT New Diamond“ නැමැති නෞකාව ගිනි ගැනීමට ලක්වූ බව සඳහන් කළේය. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ( කිලෝ ග්‍රෑම් මිලියන 270 ක්) වැනි විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවත් අදාළ නැවේ ගින්න මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් නිවා දමා ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය. මෙම ගින්න ඇතිවූ අවස්ථාවේ දී ඒ තුළ සේවයේ නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකිවයුතු බලධාරී ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම පැහැර හැර ඇති බව විමර්ශනවලින් පෙනී යන්නේ ඇයි සඳහන් කළ ‍නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක විය යුතු ස්වයංක්‍රීය ගිනි මැඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කර සිටියේය. මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද සඳහන් කර සිටියේය. මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට මුහුදු ජලය මිශ්‍ර වී තිබෙන තෙල්, ගිනි ගැනීමට ලක්වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සම්පල ලබා ගැනීමට අදාළ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබාදුන්නාය.
 

More News..