brand logo

නැවත පිරවූ ටයර් රිය අනතුරුවලට හේතුවක් - පාරිභෝගික කටයුතු අධිකාරිය හෙළිකරයි

04 January 2020

ප්‍රමිතියෙන් තොර අඩු මිලට ආනයනය කරන ටයර් සහ කල් ඉකුත් වූ ටයර් නැවත පුරවා අලෙවි කිරීම රිය අනතුරු සිදුවීමට හේතුවක් වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත. වාහන රියැදුරන්, ටයර් ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයන් ආශ්‍රිතව මෙම අධ්‍යයනය සිදුකර ඇත. ටයරයක් මිලදී ගැනීමේදී එහි කල් ඉකුත්වන දිනය සටහන් කර ඇතත් පාරිභෝගිකයන් මිල පමණක් සලකා බලන බව අධ්‍යයනයේදී හෙළි වී තිබේ. ටයරයක ආයු කාලය වසර 04 ක් පමණ වෙයි. එහෙත් එම කාලය ඉකුත් වූ ටයර නැවත පුරවා වෙළෙඳපොළේ අලෙවි කිරීම රිය අනතුරුවලට හේතුවක් වි ඇත. මෙම ටයර් ඉතාමත් අඩු මුදලට වෙළෙඳපොළේ අලෙවි කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ටයර් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කරනු ලබයි. එහෙත් ප්‍රමිතියෙන් යුත් ටයර් පමණක් අලෙවි කළ යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බව අධ්‍යයනයට භාජනය වූවන් අධිකාරියට යෝජනා කළ බව අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න ප්‍රකාශ කළාය. පාරිභෝගිකයන් මිල ගැන පමණක් සලකා බලන බවත්, ටයරයේ ප්‍රමිතිය පිළිබඳ සොයා නොබලන බවත් ඇය අවධාරණය කර සිටියාය. එම නිසා පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ටයර් ආනයනකරුවන් 15 දෙනා විසින් 2017 වසරේදී ටයර්  මිලියන 1.6 ක් ආනයනය කර ඇත. 2018 වර්ෂයේ ජූලි මාසය වන විට එම ආනයනකරුවන් ටයර් ලක්ෂ 08 ක් ආනයනය කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..