brand logo

නැන්දම්මා ආර්යා වත

21 July 2019

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ බිරිඳ ‘ආර්යාව’ හා භාර්යාව පටලවා ගැනීම නිසා පසුගිය සතියේ මෙරට සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. සජිත් ප්‍රේමදාස මහත්මිය මේ ප්‍රකාශය කරන ලද්දේ හැටන් හි පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමතමිනි. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ ඇමැතිකමට සීමා නොවිච්ච කොළඹට පමණක් සීමා නොවිච්ච, මහජනතාවත් සමග එකතු වෙලා මහජනතාවත් සමග සිටින නායකයෙක් ලෙසට ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා. අද මම මෙතැනට පැමිණියේ ඔබගේ හදවතේ ඉන්න අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි. ජලනි ප්‍රේමදාස ආර්යාවගේ කතාවට මුලින්ම අභියෝගයක් එල්ල වන්නේ මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගෙනි. ‘‘ආර්යා සිහිනය කිසි දවසක සැබෑ වන්නේ නැහැ. මෙදා ජනාධිපති පොහොට්ටුවේ අපේක්ෂකයායි.’’ එබැවින් ජනාධිපති වීමට හා ජනාධිපති ආර්යාවන් වීමට හීන දකින කිසිවකුගේ හිත කිසිදා සැබෑ නොවන බව ප්‍රසන්න මන්ත්‍රීතුමාගේ මතය විය. ජලනිගේ කතාව ගැන මේ සියලු වාද විවාද හමුවේ ඇමැති සජිත් කට ඇරියේය. බොහෝ දෙනා මෙතෙක් රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය හැඳිනගෙන නැති බව සජිත් අනාගත ජනාධිපතිතුමාගෙන් හෙළි විය. එතුමා හිතන පරිදි මෙරට ඇති ප්‍රධානම ජාතික ගැටලුව දහම් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා ගැනීමයි. තමන් ජනාධිපති වූ විට මෙරට සියලුම දහම්පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදෙන බව එතුමා කිව්වේ ඒ නිසා විය යුතුය. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සිටි සන්දියේ සජිත් ප්‍රේමදාසව දේශපාලනයට ගෙනා අන්දම ජලනි අර්යාව නොදන්නවා විය හැකිය. සජිත්ට 1990 දී දේශපාලනයට නංවන ලද්දේ බස්නාහිර පළාත් සභාවේ සභාපති ඩන්කන් ප්‍රනාන්දුය. සජිත්ව දේශපාලන වේදිකාවට ගොඩනැංවීම ගැන ප්‍රේමදාස ජනපතිවරයාගෙන් ඩන්කන්ට එල්ල වූයේ දෝස්මුරයකි. එදා මේ ගැන ඩන්කන්ගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුරක් මෙබඳු විය. ඒ මීට වසර 29 කට පෙරය. ප්‍රශ්නය: මෑතදී දේශපාලන, ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක් වුණා. ජනාධිපති පුත් සජිත් ප්‍රේමදාස මහතා සහභාගි කරගෙන කොළඹ කිරුලපොනේ ඔබ පැවැත් වූ රැස්වීම. ඒ පිළිබඳව ජනාධිපතිතුමා සිරිකොත රැස්වීමකදී ඔබට දොස් නැගුවා කියලත් කියනවා. මේ සිද්ධිය පැහැදිලි කරන්න ඔබ කැමැතිද? උත්තරය : ඇත්ත වශයෙන්ම එය දේශපාලන රැස්වීමක් නොවෙයි. ජාතික අාරක්ෂක අරමුදල් පිරිනැමීම, ස්වයං රැකියා ප්‍රදානය, ආබාධිතයන්ට රෝදපුටු ලබා දීම, නැගෙනහිර කොළඹ කිරුළ කොට්ඨාසයේ ගෙවල් 44 ක් තනා ගැනීමට ගඩොල් ලක්ෂයක් බෙදා දීම සඳහා එයට ආසනය තුළ පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර එකතු කිරීම යන කුරුණු මුල් කරගෙනයි ඒ රැස්වීම පැවැත් වූයේ. එයට රජයේ කිසිම මුදලක් වැය වන්නේ නෑ. මෙය පොදු කටයුත්තක් වෙනුවෙන් මා සංවිධානය කළ රැස්වීමක්. මේ පොදු කටයුත්ත සංවිධානය කරන විට සජිත් ප්‍රේමදාස මහතා ලංකාවේ හිටියෙ නෑ. අපේ මේ රැස්වීමේ වැඩකටයුතු බොහෝ දුරට සංවිධානය කරගෙන යන අතරෙදි ලංකාවට ආපු සජිත් ප්‍රේමදාස මහතා දවසක් මට අහම්බෙන් මුණ ගැසුණා. අපේ මේ පොදු කටයුත්තට ඔහුත් සහභාගි කරගෙන එයට තව තවත් වැඩි වැඩියෙන් ආධාර ලබා ගැනීමට හිතල මා ඔහුටත් මේ රැස්වීමට ආරාධනා කළා. සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමට සහභාගි වීම ගැන දොස් පැවරීමක් සිදු වුණේ නැහැ. ජනාධිපතිතුමා සිරිකොතේ රැස්වීම කැඳවලා තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ට ප්‍රාථමික ඡන්දය ගැන පැහැදිලි කිරීමටයි. මේ ඉතිහාසය මතක් කර දිය යුතුව ජලනි ප්‍රේමදාස මැතිනියගේ නැන්දම්මා ජනපති ආර්යාවක් වූ නිසාය. ඒ කාලේ හැඳින්වීම් පුවරුවල සඳහන් වූයේ ඇගේ නම ශ්‍රීමතී හේමා ප්‍රේමදාස මැතිනිය ලෙසය. එහෙත් ආර්යාව කෑල්ල මෙන්ම ‘ශ්‍රීමතී’ කෑල්ලද දැන් ඇගෙන් හැලී ඇත. ජලනි ප්‍රේමදාසට හේමා ප්‍රේමදාසට මෙන් ගායන හැකියාවක් තිබේදැයි අපි නොදනිමු. ඒ ප්‍රේමදාස මහතා ජනපති වූ සමයේ හේමා ප්‍රේමදාස මැතිනිය ගායනා කරන ලද ගීත මෙරට රාජ්‍ය රූපවාහිනී තුළින් විකාශය විය. තම නැන්දම්මාගේ මග යමින් ‘ජනපති ආර්යාව’ සිහිනය සැබෑ කර ගැනීමට ‘ජලනි ආර්යාවට’ ගායනා කුසලතාවන්ද ගොඩනගා ගැනීම වෙස් වලාගත් ආශිර්වාදයක් වනු නියතය. මෙරට ජනපතිවරණ පුරාණය තුළ පළමු ජනපති ආර්යාව විලියම් ගොපල්ලව මහතාගේ ආර්යාව වන අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳ වත්මන් ආර්යාවය. හිටපු ජනාධිපතිවරුන් වූ ජේ.අාර්. ජයවර්ධනගේ හා ඩී. බී. විජේතුංගගේ ආර්යාවන් සිටියාදැයි සොයාගන්නවත් නොසිටි නිහඬ චරිත විය. මෙරට ජනාධිපති ආර්යා ඉතිහාසය තුළ වැඩිම ‘වැඩකිඩ’ පෙන්වූ ඓතිහාසික චරිතය වන්නේ ජලනිගේ නැන්දම්මා වන ‘හේමා මැඩම්’ය. ප්‍රේමදාස මහතා අගමැති වූ සමයේ හේමා ප්‍රේමදාස ආර්යාව ටෙනිස් ගැසුවාය. අසුන් පිට ගියාය. අසුන් පිටින් වැටී ප්‍රතිකාර ගත්තාය. ඇයට ප්‍රතිකාර කළේද ප්‍රේමදාස මහතා ෆුට්බෝල් ගසා අඬු කඩාගත් විට වෙදකම් කළ ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකරය. සජිත් එංගලන්තයේ සිට ස්නායු රෝගයකින් පෙළී ලංකාවට ආ විට ඔහු සුවපත් කරන ලද්දේත් මේ ආයුර්වේද වෛද්‍යවරයාය. අද සජිත් අනාගත ජනාධිපතිතුමා හැර අන් සියල්ල එය දනී. ජනාධිපති ආර්යාව ලෙස හේමා මැතිනිය වැඩ පටන් ගන්නේ ජනපති ප්‍රේමදාසගේ පළවෙනි කැබිනට් රැස්වීමේ පින්තූර ගන්නට ගිය විටය. මේ ගැන පසුගිය ‘අරුණ’ කලාපයක අපි පළ කළේ ජනපති ප්‍රේමදාස සමග තොරන් ගැසූ සැටිනමින් ජයසිරි සේමගේ සමග වූ සාකච්ඡාවකදීය. කැබිනට් ඇමැතිවරයෙක් නොවන නිසා ‘‘කැබිනට් පින්තූරෙට හේමා මැඩම්ට ඉන්න බෑ. කිව්වට පිළි ගත්තේම නැහැ. ජනපති ප්‍රේමදාස ඇවිල්ලත් හිටියේ නෑ. අන්තිමට ජනපති පේමදාසට පුටුවක් හිස් තියලා කැබිනට් මණ්ඩලයේ පින්තූරයක් මැඩම් එක්ක අරන් මැඩම් පිටත් කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආවම කැබිනට් මණ්ඩලයේ නියම පින්තූරේ ගත්තා.’’ එදා ජනපති ආර්යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ගමන් කළ හැකි ලොබියේද ගමන්කරමින් වාර්තාවක් තැබුවාය. එදා ඇත්ත පත්‍රය ‘‘කථානායක තුමාටත් දුකයි’’ යනුවෙන් මේ ප්‍රවෘත්තිය පළ කරන ලද්දේ මෙසේය. ‘‘හේමා ප්‍රේමදාස ආර්යාවද ඇගේ ආරක්ෂක භටයන්ද පෙරේදා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී හැසිරුණු ආකාරයෙන් පැන නැඟුණු වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා කථානායකතුමාටත්, සභානායකතුමාටත් පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලා සිටීමට සිදු විය. මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන අවස්ථාවේ ජනාධිපති ආර්යාව කථානායකතුමාගේ ගැලරියේ අසුන්ගෙන සිටියාය. දිවා විවේකයෙන් පසුව පාර්ලිමේන්තුව යළි රැස් වූ අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ විපක්ෂ සංවිධායක රිචඩ් පතිරණ මහතා අද (23 දා) දහවල් ජනාධිපති මැතිනියත්, ඇගේ ආරක්ෂක භටයනුත් කථානායකතුමාගේ ගැලරියට පැමිණ ඇත්තේ ලොබිය හරහා බවත්, ලොබිය හරහා ගමන් කිරීමට අවසර තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට පමණක් බවත් කීය. මේ ගැන එදා සභානායක අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ ලොබිය මන්ත්‍රීවරුන්ට අයිති බව තමා පිළිගන්නා බවත්, ප්‍රේමදාස ආර්යාව මෙම සභාවට අගෞරව වන ලෙස එසේ ලොබිය හරහා ගමන් කළා යැයි තමා නොසිතන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් කීය. ජලනි ප්‍රේමදාස අාර්යාව රණසිංහ ප්‍රේමදාස මහතාව අඳුනාගෙන සිටින්නට ඇත්තේද අල්පේච්ඡ හෙවත් චාම් ජීවිතයක් ගත කළ පුද්ගලයකු ලෙසය. එහෙත් ප්‍රේමදාස මහතාගේ මළගමත් සමගම ඇත්ත පත්‍රය පළ කළ ප්‍රධාන පුවත වූයේ ‘‘ප්‍රේමදාස බූදලයෙන් ගෝලයෝ කැලඹෙති’’ යනුවෙනි. එහි මෙසේ සඳහන් විය. අල්පේච්ඡ හෙවත් චාම් දිවි පෙවෙතක උත්තරීතර බව රට වැසියාට ප්‍රකාශ කරමින්, පෝයට පෙහෙවස් සමාදම් වෙමින් යන තැනට පමණක් යමක් රැස්කරන බව පෙන්වමින් ක්‍රියා කළ තම නායකයා, ඒ සියල්ලට පටහැනිව බූදලයක් රැස්කොට තබා යාම වරදක් ලෙසින් දකින බැවිනි. ඔහු අප රවටා ඇතැයි ප්‍රේමදාස පාක්ෂිකයෝ පවසති. අනෙක් කොටස අප්‍රසාදය පළ කරන්නේ ප්‍රේමදාස මහතාගේ බූදලයට අයත් දේපොළවල තක්සේරු වටිනාකම සම්බන්ධයෙනි. එකී ගේදොර හා වතුපිටි එකී තක්සේරු වටිනාකම මෙන් කීප ගුණයක් වටිනා බව ඔවුහු කියති. එතරම් වටිනා දේපොළ මෙතරම් අඩු මට්ටමකින් තක්සේරු කර තිබීම ඔවුන්ගේ අප්‍රසාදයට හේතුවයි. අල්පේච්ඡ ජීවිතයක් ගත කළ බව කියන කොළඹ හත විජේරාම පාරේ ඇති වරිපනම් අංක 15 දරන රූට් එකකුත් පර්චස් 8.94 ක් වූ දේපොළ තක්සේරු කොට තිබුණේ රුපියල් 9,68,020 ක් වැනි අති විශාල මුදලකට බවය. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දහයකටත් අඩුය. එසේ හෙයින් ජලනි මැතිනිය ආර්යාවක් වීමේ සිහිනය අනාගත ආයෝජනයක් වනු නියතය. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ බූදල් නඩුවට අයත් වූ දේවල් කිහිපයක් මෙසේ ය. කෘෂි උපකරණ සහ යන්ත්‍ර ඇතුළත් අක්කර 52 කින් යුත් අඹන්පොළ පිහිටි උඩන්ගලකහඹිලියාව වත්ත 1,99,568 කි. (අක්කරයක් රුපියල් 38334 කි) කොළඹ 12 සුචරිත මාවතේ වරිපනම් අංක 15 දරන ස්ථානයේ පිහිටි පර්චස් 14.30 ක දේපෙළේ වටිනාකම රුපියල් 1,75,000 කි. කොළඹ 7 අංක 93, විජේරාම මාවතේ පිහිටි රූඩ් 1, පර්චස් 8.94 ක් වූ දේපළේ වටිනාකම රුපියල් 9,68,020 කි. ඉහත කී නිශ්චල දේපොළ මුළු එකතුවේ වටිනාකම රුපියල් 13,42,588 කි. චංචල දේපළ වශයෙන් දක්වා ඇති 15 ශ්‍රී 8669 දරන බෙන්ස් මෝටර් රථයේ වටිනාකම රුපියල් 8,10,000 කි. 15 ශ්‍රී 8939 දරණ ප්‍රෝටන් සගා මෝටර් රථයේ වටිනාකම රුපියල් 1,05,000 කි. ඊ. එන්. 1952 දරන මොරිස් මයින්ර් රථයේ වටිනාකම රුපියල් 20,000 කි. 32 ශ්‍රී 4845 දරන පැජරෝ ජීප් රථයේ වටිනාකම රුපියල් 71,500 කි. රුපියල් 60,000 ක් වටිනා මුදු පහක්ද, රුපියල් 30,00,000 ක් වටිනා ගෘහ උපකරණද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඔප්පු අංක 581191 හි රුපියල් 165,506 ක්ද, ජනාධිපතිවරණ පෙත්සමෙන් ප්‍රදානය කළ නඩු ගාස්තු රුපියල් 17,12,917 ක් විවිධ ශීර්ෂයන් යටතේ එම බූදලයට අන්තර්ගත කොට තිබේ. ආයෝජන වශයෙන් සීමාසහිත යුනිට් ට්‍රස්ට් මැනේජ්මන්ට් (පෞ) සමාගමේ රුපියල් 1,08,247 කි. ලංකා බැංකුවේ අලුත්කඩේ ශාඛාවේ ජංගම ගිණුමේ (93.4.31 දක්වා) රුපියල් 7,03,728.63 කි. එම ශාඛාවේම ඉතිරිකිරීමේ ගිනුමේ රුපියල් 68,481.92 කි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුම් පහක මුළු එකතුව රුපියල් 33,99,100 කි. අතැති මුදල් රුපියල් 80,000 කි. වත්කම්වල මුළු එකතුව රුපියල් 89,47,068.61ක් වන අතර 1992/93 වර්ෂය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 37,000 ක ආදායම් බදු අයකිරීමේ වගකීම අඩුකළ විට බූදලයේ ශුද්ධ වටිනාකම රුපියල් 89,10,068.61 කි. ජලනි ප්‍රේමදාස ආර්යාව ඇතුළු බොහෝ දෙනකුට අද ඇතැම් විට අමතකව ඇතත් මෙරට තම සැමියාගේ මළ ගෙදර කතාවක් පැවැත් වූ එකම අාර්යාව වන්නේ හේමා ආර්යාවයි. තම සැමියාගේ අවමඟුල් උළෙලේ හේමා අාර්යාව කතා කළේ මෙසේය. ‘‘ප්‍රේමදාස ජනාධිපතිතුමා කරන්නට බලාපොරොත්තු වූ දේවල් කරන්න ලැබුණා නම් මේ රට සෞභාග්‍යයෙන් හා සමෘද්ධියෙන් සම්පූර්ණ වනවාට සැකයක් නැහැ. අපි ඒ වැඩපිළිවෙළ අතරමං කරන්නේ නැහැ. එය ඉදිරියට ගෙන යාමට එකතුවන ලෙස මා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එතුමාගේ කීර්තිනාමය හා ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියට ගෙන යාමටත් ඒකරාශී වන ලෙස මා ඔබ සැමට ආරාධනා කරනවා. මට හැකි පමණින් එම කටයුතු ඉදිරියට ගෙනයනවා. ඒ සඳහා ඔබේ සහාය දෙන ලෙස ඉතා අහිංසකව ඉල්ලා සිටිනවා.’’යි හේමා ආර්යාව තම සැමියාගේ මළගෙදර දිග කතාවක් කරන ලදී. එහෙත් ජලනි ආර්යාවගේ නැන්දම්මාට බලය දීමට එවකට යූඇන්පීය පියවර නොගත් නිසාබොහෝ දෙනා කීවේ ඇය අලුත් පක්ෂයක් ගොඩනගන බවය. එහෙත් ඒ ගැන ඇය අවසානයේ පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙසේය. තම මුළු ජීවිත කාලය තුළම එක්සත් ජාතික පක්ෂයට ආධාර කරනු මිස අලුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කිසි දිනක කටයුතු නොකරන්නේ යැයි හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රකාශ කරයි. හේමා ප්‍රේමදාස මහත්මිය එසේ කීවේ ඇය නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යන බවට පසුගිය සති අන්තයේ ඇතැම් ප්‍රවෘත්ති පත්‍රවල පළ වූ වාර්තා පිළිබඳ ඇගෙන් විමසනු ලැබූ අවස්ථාවේදී්‍ය. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් තුන් මස පිරෙන අගෝස්තු 01 වන දින හේමා ප්‍රේමදාස මහත්මිය සුචරිත පුරවැසි පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් දියත් කිරීමට ප්‍රේමදාස හිතවාදී ඇමැතිවරුන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හා එජාප සාමාජිකයන් රාශියක් සමග එක්ව කටයුතු යොදාගෙන යන බව එම වාර්තාවලින් කියැවිණි. ‘‘ඔක්කෝම බොරු, ඔක්කෝම රැවටිලි. එ්ක කිසි දිනක වෙන්නේ නෑ’’ යනුවෙන් මෙම ආරංචි හා වාර්තා ප්‍රතික්ෂේප කළ හේමා ප්‍රේමදාස මහත්මිය තමා උපතින්ම එක්සත් ජාතික පාක්ෂිකයකු වී යැයිද, තමා හා තම සැමියා වසර ගණනාවක් එජාපයට සහයෝගය දැක්වූ අතර තම ඉදිරි ජීවිත කාලය තුළත් එය එසේම වනු ඇතැයිද කීවාය. හේමා ප්‍රේමදාසට ජනාධිපති ධුරය පිරිනැමීම ගැන එවකට ඇමැති ඒ. ජේ. රණසිංහ පැවුසවේ දොස්තර මළාම නෝනාගෙන් බේත් නොගන්නා බවය. ජලනි ප්‍රේමදාස මෙන්ම හේමා ආර්යාවද, දේශාපලනයට බදුල්ලෙන් පිවිසීමට සියලු විය පැහැදම් දැරුවේ ඩන්කන් ප්‍රනාන්දුමය. කාරණය දැනගත් ප්‍රේමදාස මහතා ඩන්කන්ට කළ ගෝරනාඩුවෙන් හේමා ආර්යාවගේ දේශපාලනය සුනුවිසුණු වී ඩන්කන්ද යූඇන්පියේ නැගෙනහිර හා බටහිර සංවිධායක ධුරයද විසිවී ගියේය. අපට මේ දේශපාලන දූවිලි වැදුන පෙට්ටගම් අවුස්සන්නට වූයේ ප්‍රේමදාස ආර්යාවගේ දේශපාලන අතීතය ජලනි අනාගත ආර්යාවට මතක් කිරීමට විනා අන් කිසිවකට නොවේ. වජිර ලියනගේ
 

More News..